වසරේ වේගවත්ම ක්‍රීඩකයින් හිමාෂයි - අමාෂයි

දෙසැ 29, 2020

    කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ අමාෂා ද සිල්වා හා හිමාෂ ඒෂාන් වසරේ වේගවත්ම ක්‍රීඩිකාව හා ක්‍රීඩකයා බවට පත්විය.

    ඊයේ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ තෙවැනි දිනයේදී අමාෂා ද සිල්වා මීටර් 100 තත්පර 11.55කින් නිමකළ අතර හිමාෂ ඒෂාන් එම ඉසව්ව තත්පර 10. 27කින් නිම කළේය. මෙම දෙදෙනාගේ ධාවනයේ සාමාන්‍ය දළ වේගය පැයට කිලොමීටර් 33කි.

    පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී අමාෂා ද සිල්වා මේ ඉසව්ව තත්පර 11. 82කින් නිමකොට රිදී පදක්කම දිනාගත් අතර හිමාෂ ඒෂාන් තත්පර 10.50කින් රිදී පදක්කම සතුකර ගත්තේය. අමාෂා ඊයේ වාර්තා කළ කාලය තම හොදම පෞද්ගලික දක්ෂතාව වන අතර හිමාෂ ඒෂාන් පසුගිය වසරේදී මෙම ඉසව්ව තත්පර 10. 22කින් නිමා කොට නව ශ්‍රී ලංකා වාර්තාව බිහි කිරීමට සමත් විය.

    මීටර් 100 කාන්තා තරගයේ දෙවැනි ස්ථානය කෑගල්ල දිස්ත්‍රික් සංගමයේ රුමේෂිකා රත්නායක (තත්පර 11.88) හා තෙවැනි ස්ථානය යුද හමුදාවේ ෆාතිමා සාෆියා (තත්පර 12.05) කින් දිනාගත්හ.

    මීටර් 100 පිරිමි තරගයේ දෙවැනි ස්ථානය හා තෙවැනි ස්ථානය යුද හමුදාව සතුවූ අතර පිළිවෙළින් චානුක සන්දීප (තත්පර 10.49) හා විනෝජ් සංජය ද සිල්වා (තත්පර 10.50) එම ස්ථාන දිනාගත්හ.

    කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී නොවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික මලල ක්‍රීඩා සංචිතයෙන් ඉවත් කිරීමට මලල ක්‍රීඩා සංගමය තීරණය කොට ඇති හෙයින් ඊයේ දිනයේ තුන් පිම්ම ඉසව්වට එක් නොවූ ජාතික ශූරිය වන විදූෂා ලක්ෂාණී ඇතුලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකුටම ජාතික සංචිතයේ අවස්ථා ගිලිහී යනු ඇත.

    Last modified on බදාදා, 30 දෙසැම්බර් 2020 12:12

    Latest News