තීරණාත්මක තරගයකින් මුම්බායි ඉන්දියන්ස්ට කඩුලු 5ක ජයක්

ඔක් 30, 2020

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරමුණ ගැනීමට පැවැති තීරණාත්මක තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිල කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට සමත් විය.

    තරගය අබුඩාබිහිදී පැවැත්විණ. මේ සමඟ පෙරමුණ රැක ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත් වූ අතර, විරාට් කෝලිගේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට දෙවැනි ස්ථානයේම රැදී සිටීමට සිදු විය.

    පළමුව පන්දුවට පහර දුන් බැංගලෝර් පිල ලකුණු 164ක් ලබාගත්තේය. මුම්බායි පිල පන්දු 5ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී හිමිකර ගැනිමට සමත්විය.

    තරගයේ වීරයා වූ සූර්යකුමාර් යාදෙව්. ඔහු නොදැවී ලකුණු 79ක් රැස් කරමින් මුම්බායි පිල ජයග්‍රහණය කරා ගෙන ගියේය. ඔහුගේ ඉනිම හතරේ පහර 10කින් සහ හයේ පහර 3කින් අලංකාර විය. ඉෂාන් කිෂාන් ලකුණු 25යි. පන්දු යැවීමේදී මොහොමඩ් සිරාජ් සහ යුස්වේන්ද්‍ර චාහල් කඩුලු 2ක් බිඳ දැමූහ.

    දෙව්දත් පඩික්කාල් ලකුණු 74 ක් ලබාගනිමින් බැංගලෝර් පිලේ වැඩිම ලකුණුලාභියා විය. ජොෂ් පිලිපේ ලකුණු 33යි. දෙදෙනා අතර, පළමු කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 71කි. පන්දු 45කට මුහුණ දුන් පඩික්කාල් හතරේ පහර 12ක් සහ හයේ පහරක් ඉනිමට එක් කර ගත්තේය.

    ඉසුරු උදාන බැංගලෝර් පිල වෙනුවෙන් මේ තරගයටත් කැඳවා නොතිබිණි. පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3ක් බිඳ දැමීය.

    මේ ජයග්‍රහණය සමඟ මුම්බායි පිල ප්‍රසාද ලකුණු 16ක් රැස් කර ගෙන සිටී.

    Latest News