සුනාමි ව්‍යසනය සිදුවූ අදට වසර 15ක් (වීඩියෝ)

දෙසැ 26, 2019
  • දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත හා දේපළ අහිමි කළ සුනාමි ව්‍යවසනය සිදුවී අදට  වසර 15ක් සපිරේ.

    සුනාමි ඛේදවාචකයෙන් දිවි අහිමි වූ සහ ආපදාවට ලක්වූ ජනතාව සිහිකරමින් අද පෙරවරු 9.25සිට පෙරවරු 9.27 දක්වා විනාඩි 2ක නිෂ්ශබ්දතාවයක් රකින ලෙස, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු අමාත්‍යාංශ, රජයේ ආයතනවලින් හා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    2004 වර්ෂයේ දෙසැම්බර් 26 වැනිදා පෙරවරුවේ මෙරට මුහුදුබඩ ප්‍රදේශවලට බලපෑ සුනාමි ව්‍යසනය හේතුවෙන් පුද්ගලයින් 35,000ක් පමණ මිය ජීවිතක්ෂයට පත්විය. තවත් 5,000ක් පමණ අතුරුදන් විය.

    සුනාමි ව්‍යසනය මගින් 1500 දෙනෙකු රැගත් දුම්රිය පැරෑලිය ප්‍රදේශයේදී අනතුරට ලක් වූ අතර එය ලොව බිහිසුණුම දුම්රිය අනතුර ලෙස ඉතිහාසයට එක්විය.

    උදෑසන 8.30 ට නැගෙනහිර වෙරළට සුනාමි රළ ලඟාවූ අතර දිස්ත්‍රික්ක 14 ක කාන්තාවන්, පුරුෂයන්, ළමයින් ඇතුළුව ජාති, ආගම් හෝ දුප්පත්, පොහොසත් භේදයකින් තොරව සුනාමියට ගොදුරුවිය. එයට මුහුණ දුන් පවුල්වලට අද ඉතිරිව ඇත්තේ අඳුරු අමිහිරි මතකයන් පමණකි.

    සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව උදෙසා දෙසැම්බර් 26 දිනය, ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කෙරුණි. එහෙයින් සුනාමි ඛේදවාචකයෙන් දිවි අහිමි වූ සහ ආපදාවට ලක්වූ ජනතාව අද දිනයේදී විනාඩි 2ක නිශ්ශබ්දතාවයකින් යුතුව සිහි කිරීම අපි සියලු දෙනාගේම යුතුකමකි.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 දෙසැම්බර් 2019 07:18

    Latest News