දෙසැම්බර් මාසයේ ඩෙංගු රෝගීන්ගේ අඩු වීමක් (වීඩියෝ)

දෙසැ 24, 2019
  • මේ වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ ඩෙංගු රෝගීන්ගේ අඩු වීමක් ඇතැයි ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පරිසරය පවිත්‍ර කිරීම් අඛණ්ඩව සිදු කරන ලෙසයි. ඩෙංගු රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසද දැනුම් දෙයි.

    ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 51,659 දෙනකු 2018 දී වාර්තා වී ඇති නමුත් මේ වසරේ ගතවූ මාස 11කට ආධික කාලයේ දී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 94,230 කි. ඉන් 44.1% දෙකක් පමණ වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරිසරයෙන් ඉවත් කිරීම රෝගය බෝවීම වැළැක්වීමට අත්‍යවශ්‍ය වේ. ඩෙංගු මර්ධන වැඩසටහනක් පිළියන්දලදී ඊයේ පැවැත්විණි. එය සංවිධානය කළේ කැස්බෑව නගර සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පිළියන්දල කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල එක්වයි. බස්නාහිර පළාතේ කඩිනම් ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව මේ පැවැත් විණි.

    2020 ඩෙංගුවලින් තොර රටක් තේමාවෙන් හෝමාගම නගරයේදී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අද උදේ සිට පැවැත්විණි. මේ සංවිධානය කළේ බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවයි.

    ඩෙංගු මර්දනය විශේෂ සෝදිසි මෙහෙයුමක් වවුනියාව නගරයේ දී ද අද උදෑසන පවත්වා ඇත. වවුනියාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තුන්සියකට අධිකයි.

    Last modified on අඟහරුවාදා, 24 දෙසැම්බර් 2019 19:27

    Latest News