පාස්කු ප්‍රහාරයෙන් කොළඹ ඩොක්යාඩ් සමාගමට ඩොලර් මිලියන 50 ක ඇනවුම් අහිමි: ඇමති ජොන්ස්ටන් (වීඩියෝ)

දෙසැ 23, 2019
  • කොළඹ ඩොක්යාඩ් සමාගමේ ඇ.ඩො මිලියන 50 ක ඇනවුම් පාස්කු ප්‍රහාරය සිදු වූ දින අහිමි වු බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව නියමු යාත්‍රා ( Pilot Boats ) 02 ක් අද (23) කොළඹ වරායට එක් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි

    පැයට නාවික සැතපුම් 22ක වේගයෙන් යාත්‍රා කළ හැකි අධිවේගී නවීන යාත්‍රා 02 කොළඹ නැව් තටාකාංගන පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කළේය. එක් යාත්‍රාවක් දිගින් මීටර් 12ක් වන අතර පළලින් මීටර් 5.5 කි. එම යාත්‍ර දෙකක පයිලට් 16 (Pilot 16) හා පයිලට් 17 ( Pilot 17) ලෙස ඒවා නම්කර තිබේ. මෙම යාත්‍රා දෙකත් සමග ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් නාවුක සේවාට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සමස්ත නියමු යාත්‍රා සංඛ්‍යාව 08 ක් බවට පත්වේ. මේ සමග කොළඹ වරායට පැමිණෙන නෞකා සදහා විශ්වසනීය, කාර්‍යක්ෂම හා කඩිනම් නාවුක සේවා සම්පාදනයට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හැකියාව තවදුරටත් වර්ධනය වනු ඇත. යාත්‍රා දෙකෙහි වටිනාකම ඇ.ඩො මිලියන 3.12 කි.

    pilotjony1 px 900 23 12 19

    මෙහිදි අදහස් දැක්වු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා.......

    පාස්කු ප්‍රහාරයෙන් ජීවිත විතරක් නෙවෙයි , ආර්ථික වශයෙනුත් විශාල විනාශයක් වුණා. අද මෙතැනට ආවාම දැනගන්න ලැබුණා කොළඹ නැව් තටාකාංගන පුද්ගලික සමාගමට විතරක් ජාත්‍යන්තර වශයෙන් ලැබුණ ඇ.ඩො. මිලියන 50 ක ඇනවුම් පාස්කු ප්‍රහාරය සිද්ධ වුණ වෙලාවෙම කැන්සල් වෙලා තියෙනව. මේක තමයි ආර්ථික කඩාවැටීම.

    එකක් අවුරුදු හතරක් තිස්සේ ඔවුන්ගේ තිබුණ අදක්ෂ පාලනය හා හොරකම. මහා බැංකු හොරකම නිසා විශාල හානියක් වුණා. ඊළගට මනා දක්ෂ ආර්ථික පරිපාලනයක් නොමැතිකමින් රටේ ආර්ථිකය වැටීගෙන ආවා. සහරාන්ගෙ ප්‍රහාරයෙන් තව මාස පහ හයකින් කඩාවැටෙන්න තිබුණ ආර්ථිකය එවෙලේම කඩා වැටුණා.

    ප්‍රේමදාස ජනාධිපති තුමා මේ සමාගම 1993 මාර්තු 10 වෙනිදා පෞද්ගලිකකරණය කෙරුවත්, අපි සතුටු වෙනවා ජාත්‍යන්තර වශයෙන් එන ඇනවුම් හා මොවුන්ගේ දක්ෂ කම් ගැන. හැබැයි අපි කණගාටු වෙනවා එක පැත්තකින් පසුගිය රජය මේ කරපු මහා විනාශය ගැන. අපේ රට අවුරුදු පහක් හයක් නෙවෙයි අවුරුදු 25ක් 30 ක් ආපස්සට ගෙනිහිල්ලා තියෙනව කියල තමයි අපට පේන්නෙ. ඔවුන් කරපු හොරකම්, දූෂණය කියල නිම කරන්න බෑ. ඒක තමයි ඇත්ත. ඔවුන් රාජපක්ෂ ජනාධිපති තුමාට හා පවුලේ අයට පහර දෙමින් කෙරුවෙ හොරකම හා මුදල් වංචාව. රාජපක්ෂ ජනාධිපති තුමා හා ඒ පවුලේ අයව ආවරණයක් හැටියට පාවිච්චි කරලා මේ රටේ ජනතාවගේ ධනයෙන් පහුගිය රජයේ උදවිය මහා දැවැන්ත හොරකමක් කරල තියෙනවයැයි වරාය නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    කොළඹ වරාය පරිශ්‍රයේ පැවති මෙම අවස්ථාවට වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක, කොළඹ නැව් තටාකාංගන පුද්ගලික සමාගමේ සභාපති එච්. ටනකා යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    Last modified on සදුදා, 23 දෙසැම්බර් 2019 20:18

    Latest News