පූජිත හා හේමසිරි ජනවාරි 6 තෙක් යළි රිමාන්ඩ් (වීඩියෝ)

දෙසැ 23, 2019
  • පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනීමැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 06 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.

    පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී රහස්පොලීසිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පරීක්ෂණයට අදාලව හිටපු ජනාධිපතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ කාදිනල් තුමා ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසිය සූදානම් වන බව කියා සිටියේය.

    මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සහ ලේකම්වරු කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා දින ලබාදෙන මෙන් ඉල්ලා තිබුණත් ඔවුන් මෙතෙක් දින ලබාදී නොමැති බවයි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා අධිකරණයට දන්වා සිටියේ.

    ඊට අමතරව මෙම පරීක්ෂණයට අදාලව හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන්, රාවුෆ් හකීම් යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් ගැනීමට රහස් පොලිස් සූදානම්වන බවද දන්වා සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා යම් පුද්ගලයකු පරීක්ෂණ වලට අවශ්‍ය ප්‍රකාශ ලබාදීම හිතාමතා ප්‍රමාද කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ නියෝගයක් අපේක්ෂා කරන බවද දන්වා සිටියේය.

    නත්තල් අවසන් වීමෙන් පසුව කාදිනල්තුමාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද ඔහු දක්වා සිටියේය.

    ඊට අමතරව මෙම විමර්ශනයට අදාළව නියෝජ්‍ය පොලිස්පතිවරු තුන් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සැකකරුවන් ලබන 6 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කලා එදින පරීක්ෂණ වල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

    Last modified on සදුදා, 23 දෙසැම්බර් 2019 20:02

    Latest News