Semi Luxury යට තිත තියන්න ඇමති අමරවීර සුදානම්

දෙසැ 21, 2019

    මගි ජනතාවට කිසිදු පහසුකමක් නොදී ජනතා මුදල් ගසා කන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව කෙටි කලකින් අහෝසි කරණ බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මෙම මගී බස් රථ සේවාව සම්බන්ධයෙන් පාර්ශ්ව ගණනාවක් සමග කළ සාකච්ඡාවකින් පසු අමත්‍යවරයා මෙම තීරණයට එළඹ තිබේ.

    ජාතික ගමනාගමන කොමිසම මගීන් 10,000ක් ආශ්‍රිතව සිදු කරන ලද විමසීමේ සමීක්ෂණයක දී එහි ඇති ගැටලුකාරි තත්වයන් අනාවරණයවි තිබේ. එම සමීක්ෂණයට සහභාගි වූ මගී ජනතාවගෙන් සියයට සියයක් ප්‍රකාශ කර ඇත්තේ Semi Luxery හෙවත් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට පියවර ගත යුතු බවයි.

    වසර ගණනාවකින් නොසේදු දූවිලි බැඳී දුර්වර්ණව ගිය ජනෙල් රෙදි තිර කිහිපයක් හැරෙන්නට අර්ධ සුඛෝපබෝගි පහසුකමක් නොමැති බව මගීන් විසින් පෙන්වා දි ඇත. එම ජනෙල් තිර රෙදිවල ඇති දූවිල්ල ආඝ්‍රාණය වීමෙන් බස් රථයෙන් බසින විට හිසේ කැක්කුම් ඇතිවන බව මගීන් වාර්තාකර ඇති බව එම සමික්ෂණයේ සඳහන්වේ.

    එම අදහස් සියල්ල සැළකිල්ලට ගනිමින් අර්ධ සුඛෝපභෝගි බස් සේවාව ඉතා කෙටිකාලකින් අවසන් කිරීමට කටයුතු කරන ලෙස මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් දී තිබේ.

    මෙම මගී බස් සේවාව අවසන් කිරිමට අදාල සියලුම පියවර ගෙන ඇති බවත්, ලබන මාසය තුළ එය අහෝසි කිරීමට හැකි බවත් අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනවිරත්න මහතා අමාත්‍යවරයාට මෙම සාකාච්ඡාවේදි කියා සිටියේය.

    මෙම බස් සේවය අහෝසි කිරීමෙන් පසු බස් රථ අධිවේගී මාර්ගවල අවම මිලක් යටතේ ධාවනයට සහ, දුර බැහැර සිට පැමිණෙන කාර්යාල සේවකයින්ගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් යොදා ගැනිමේ හැකියාවත් සොයා බලන ලෙස අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.

     

    Latest News