ගලේවෙලදි එකට ගැටුන වාහන 07 ක් අතර නොසැලකිල්ලට අවවාදයක්

දෙසැ 21, 2019

    ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ යටිගල්පොත්ත ප්‍රදේශයේදී අද ( 21) අළුයම වාහන හතක් එකිනෙකට ගැටීමෙන් පුද්ගලයන් පහළොස් දෙනෙකු තුවාල ලබා දඹුල්ල සහ ගලේවෙල රෝහල්වලට ඇතුළත් කර තිබේ.

    වර්ෂාපතනයත් සමග අළුයම් කාලයේ මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන ඒ පිළිබඳව පොලිසිය පැමිණ පරික්ෂා කරමින් සිටියදී එකවරම ටිපර් රථයක් වෑන් රථයක් එකිනෙක ගැටීම සිදු වූ බව පොලීසිය කියයි. විනාඩි කිහිපයක් ගතවෙද්දී එම වාහන දෙකේ පරික්ෂා කටයුතු පොලිසිය සිදු කරමින් සිටියදී නැවත වරක් මෝටර් රථයක් හා ටිපර් රථයක් ද නවතා තිබුණු වාහන වල ගැටි තිබේ.
    ඒ අනුව වාහන හතක් විනාඩි කිහිපයක් ඇතුළත අනතුර සිදු වූ ස්ථානයේම අනතුරට පතු බව පොලිසිය පවසයි.
    මෙම අනතුරුවලින් තුවාල ලැබූ පුද්ගලයන් 15 දෙනෙකු ගලේවෙල සහ දඹුල්ල රෝහලට ඇතුලත් කොට තිබෙන බවත් එයින් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    අනතුරට පත් වාහන සියල්ල පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර රියදුරන් කිහිප දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇත.
    අනතුර පරික්ෂා කරමින් සිටියදී ඉතා අපරික්ෂාකාරී ලෙස පෞද්ගලික බස් රථ කිහිපයක් එම ස්ථානයෙන් ධාවනය වන අයුරු නිරීක්ෂණය කිරීමෙන් පසු එම බස්රථ පොලිසිය විසින් නවතා ඔවුන්ට දැඩි ලෙස අවවාද කර ඇති අප වාර්තාකරු පවසයි.

    Latest News