රට නිසි මඟ ගෙන යන ජනපති වෑයමට මහා සංඝරත්නයේ ආශිර්වාදය

දෙසැ 20, 2019

    වැරදි මගක ගමන් කරමින් තිබූ රට හරි මඟට ගෙන එමින් සමෘද්ධිමත් සහ දියුණු රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමේ ජනපතිගේ වෑයමට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ අනුශාසනාව හිමි වන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

    අද (20) පස්වරුවේ කොළඹ ධර්මායතනය වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් බැහැදුටු අතර එහිදී ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

    “රට වෙනුවෙන් වූ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සියලු පාර්ශ්වයන්ගේ සහාය හිමිවිය යුතුය. එම ගමනට අවැසි සුදුසුම කණ්ඩායමක් තෝරාගන්නා ලෙස ද” උන්වහන්සේ සිහිපත් කළහ. මහජනතාවගෙන් සැදුම්ලත් මහජන බුද්ධි අංශයක් ඉදිරියේ දි නිර්මාණය කර රටේ දුෂණ, වංචා, නාස්තිය සහ දුර්වලතා හඳුනාගනිමින් එම තොරතුරු ජනාධිපතිතුමාට භාරදීමේ යාන්ත්‍රණයක් සකස් කරන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කළහ.

    රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය මාතලේ ධම්මකුසල හිමිපාණන් වහන්සේ අතුළු මහා සංඝරත්නය ද, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයෝ සහ විහාරස්ථ දායක සභාව මෙම අවස්ථාවට එක්ව සිටියහ. අනතුරුව බම්බලපිටිය සිරි වජිරාරාමය වෙත ගිය ජනාධිපතිතුමා අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහානායක ආචාර්ය පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ බැහැ දුටුවේය.

    slpresident1 px 900 19 12 2

    උන්වහන්සේ ද ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කරමින් විශේෂ අනුශාසනාවක් සිදු කළහ.

    ධර්මතාන්ත්‍රික සමාජයක් ශ්‍රී ලංකා මාතෘ භූමිය තුළ නිර්මාණය කිරීමට ජනාධිපතිතුමාට ශක්තිය, ධෛර්ය ප්‍රාර්ථනා කළ උන්වහන්සේ එවන් සමාජයක් රට තුළ ගොඩනඟිය හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බව සඳහන් කළහ. එතුමාගේ ධූර කාලය තුළ එය ඉටු නොවුණහොත් එම මහඟු කාර්ය සපුරාලීමට වෙනත් නායකත්වයක් බිහි නොවන බව උන්වහන්සේ කියා සිටියහ.

    රටේ භාග්‍යයට ජනාධිපති ධූරයට පත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉකුත් මසක් වැනි කෙටි කලක් තුළ දිනාගත් මහජන ප්‍රසාදය උන්වහන්සේ පැසසුමට ලක් කළහ.  රටට අලුත් දෙයක් එක් කරමින් නීතිගරුක, යුක්තිගරුක සහ ධර්මය ඉස්මතු වන සමාජයක් ගොඩනැගීමේ ජනපතිගේ කැපවීම අගය කළ උන්වහන්සේ නායකත්වයේ එම අධ්‍යාසය මල්ඵල ගැන්වීමට සියලු මැති ඇමතිවරුන්ගේ සහාය ද නොඅඩුව හිමිවිය යුතු බව සඳහන් කළහ.

    “ජනතාවගේ අධ්‍යාත්මය සංවර්ධනය නොකොට අපේක්ෂිත දියුණු සමාජය ගොඩනැගිය නොහැක” එවන් ධාර්මික සහ චරිතවත් සමාජය නිර්මාණය කිරීමෙහිලා අදාළ යෝජනාවලියක් ද පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ ජනාධිපතිතුමා වෙත භාර දුන්හ.

     

     

     

     

     

     

     

    Last modified on සිකුරාදා, 20 දෙසැම්බර් 2019 19:20

    Latest News