ජෙරාඩ් මෙන්ඩිස්ගෙන් මුදල් ඉල්ලා තර්ජනය කළැයි ඇමති ප්‍රසන්නට එරෙහි නඩුව කල්යයි

දෙසැ 18, 2019

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මංජුල තිලකරත්න මහතාට වෙනත් නඩු විභාගයකට සහභාගි වීමට නියමිතව තිබෙන හෙයින් මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 3 වැනිදා දක්වා කල් තබන බව නිවේදනය කෙරිණ.

    බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කර එහි රැඳී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීමේ කටයුතු ඉටු කිරීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නැමති ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ගලයෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

    මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වීමට ද අධිකරණය තීරණය කර තිබේ.

    Last modified on බදාදා, 18 දෙසැම්බර් 2019 12:15

    Latest News