GMOA - අගමැති අතර හමුවක්

දෙසැ 17, 2019

    පසුගිය රජය ගත් රටට අහිතකර තීරණවලදී හරි පැත්තේ ඉදගෙන තම මතය ඍජුවම ඉදිරිපත් කිරීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සිය ස්තුතිය පළ කළේය. ඒ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතර ඊයේ (16) අරලියගහ මන්දිරයේ දී පැවති හමුවකදී.

    මෙහිදී වැඩිහිටියන් මෙන්ම පාසල් ළමුන්ද දියවැඩියා රෝගයට ගොදුරුවීම පිළිබඳව වැඩි අවධානය යොමුවිය. රටේ සෞඛ්‍ය දියුණු කිරීම සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනයට රජයේ වෛද්‍ය සංගමය ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් කිරීම නිසා ඉදිරියේ දී රටේ සෞඛ්‍යයේ වර්ධනයක් දැකිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙයින් පැවසීය.


    එමෙන්ම වසවිසෙන් තොර ආහාර මහජනතාවට ලබාදීම, කිරිපිටි වලට ලංකාවෙන් ඇදී යන මුදල් ප්‍රමාණය නවතා ගැනීමටද මෙහිදී අවධානය යොමුවිය. රටේ සියලුම ආපනශාලා සෞඛ්‍ය ආරක්‍ෂිත තත්වයට පත්කිරීම හා ආහාර පනත හරහා රෝගීන්ට සුරක්‍ෂිත ආහාර සංස්කෘතියක් ඇති කිරීම කෙරෙහිද මෙම සාකච්ජාවේදී අවධානය යොමු විය.

    වස විසෙන් තොර ආහාර සහතික කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් හදුන්වාදීම හා සුරක්‍ෂිත පාරම්පරික ආහාර රටාව ස්ථාපිත කිරීම මඟින් ජනතාව රෝගවලට ලක්වීම අවම කරගත හැකි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී පෙන්වා දෙන ලදී.

    එමෙන්ම පසුගිය රජය තෝරාගත් ක්‍ෂේත්‍රයන්හි වැටුප් වැඩිකිරීමට කැබිනට් අනුමැතියන් මඟින් කටයුත කිරීම නිසා වැටුප් විෂමතාවයන් වැඩි වී ඇති බැවින් ජාතික වැටුප් ප්‍රතිපත්තියේ අඩුපාඩු නිවැරදි කර යාවත්කාලීන කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුකරන ලද එම සංගමය අගමැතිගෙන් ඉල්ලා සිටියේය.

    පසුගිය රජය විසින් සුරක්‍ෂා රක්‍ෂණ ක්‍රමය මඟින් පාසල් ළමයෙකුට ලක්‍ෂ 02ක රක්‍ෂණයක් දී තිබූ බව මෙහිදී පැවසූ අග්‍රාමාත්‍යවරයා ළමුන් සඳහා අසීමිත රක්‍ෂණයක් තිබිය යුතු බව මෙහිදී පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් පී එස් එම් චාල්ස්, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ‍ජෙනරාල් අනිල් ජයසිංහ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ යන මහත්ම මහත්මීන් හා රජයේ වෛද්‍ය සංගමයේ විධායක සභාවේ නියෝජිතයියෝ සහභාගී වූහ.

    Last modified on අඟහරුවාදා, 17 දෙසැම්බර් 2019 07:13

    Latest News