තහනම් නියෝගයට එරෙහිව මහින්දගෙන් අභියාචනයක්

දෙසැ 04, 2018

    මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය ධුරයට සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය ඉවත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

    මහින්ද රාජපක්ෂ මහතා විසින් අභියාචනය ඉදිරිපත් කරනු ලැබිණ.

    වගඋත්තරකරුවන් ලෙස අභියාචනාධිකරණයට පෙත්සම ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවල මන්ත්‍රීවරුන් 122 ක් නම් කර තිබේ.

    තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ තහනම් නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව මහින්ද රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කියා සිටියි. මෙවැනි නියෝග නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

    මෙම අභියාචනය පිළිබඳ විභාගයක් පවත්වා අභියාචනාධිකරණය විසින් ඊයේ (03) දින නිකුත් කළ තහනම් නියෝගය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාර පාර්ශව සාමාජිකයින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

    මේ අතර අග්‍රාමාත්‍ය ධුරයට සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය ඉවත් කරන මෙන් ඉල්ලා චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විජේදාස රාජපක්ෂ සහ දිනේෂ් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනයක් අද පස්වරුවේ ඉදිරිපත් කලේය.

     

     

    Last modified on අඟහරුවාදා, 04 දෙසැම්බර් 2018 18:42

    Latest News