දුම්රිය මගේ බෙලිඅත්ත - හම්බන්තොට ඉදිකිරීම් සෝචනීයයි; අමාත්‍ය අමරවීර

දෙසැ 05, 2019

    මාතර-කතරගම දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා වූ දෙවැනි අදියරේ ඉදිකිරීම් පිළිබඳව කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව, විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මේ පිළිබඳ කඩිනමින් තාක්‍ෂණික විමර්ශනය සිදුකර, වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට ඊයේ පැවති සාකච්ජාවකදී උපදෙස් දුන්නේය.

    මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ, මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින්. එහි සමස්ත දුර ප්‍රමාණය, කිලෝ මීටර 115ක්. මාතර සිට බෙලිඅත්ත දක්වා වූ දුම්රිය මාර්ග කොටස මීට මාස කිහිපයකට පෙර ජනතාවට විවෘත කෙරිණ. නමුත්, සමස්ත සැලසුම වූයේ, මාතර සිට කතරගම දක්වා වූ දුම්රිය මාර්ගය 2016 වසරේදී අවසන් කිරීමයි. මේ දක්වා බෙලිඅත්තේ සිට දුම්රිය මාර්ගයේ කිසිදු ඉදිකිරීමක් සිදු නොවන බව ජනතාව පවසති. ඉඩම් පවරා ගැනීමේදී වන්දි ලබාදීමේ දී ගැටලු රැසකට පසුගිය කාලසීමාව තුළ ජනතාව මුහුණ පා තිබේ.

    Matara px 900 05 12 19

    මෙරට දුම්රිය ගමනාගමනයේ ඉදිරි පිම්මක් ලෙස මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය හැඳින්වුව ද, පසුගිය කාලයේ සිදුවූ අක්‍රමිකතා හා නොසැලකිල්ල හේතුවෙන් ඒ වටිනා ව්‍යාපෘතියේ ප්‍රතිලාභ රටේ සමස්ත ජනතාවට අහිමිව තිබේ. මේ පිළිබඳව ජනතාවගෙන් ලැබුණු පැමිණිළි හා ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ දී මේ පිලිබඳව විශේෂ සාකච්ජාවක් පැවැත්විණ.

    ව්‍යාපෘතිය ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලු අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ, දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් සිදුකිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද තමන්ට උපදෙස් ලබාදී තිබෙන බව අමාත්‍යවරයා කියා සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 දෙසැම්බර් 2019 19:10

    Latest News