තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා නොදුන්නැයි පෙත්සමක්

දෙසැ 04, 2019

    තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලූ තොරතුරු ලබා නොදීමට එරෙහිව පොළොන්නරුවේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    ඉකුත් රජය විසින් උක් වගාව සඳහා ඉඩම් අක්කර 60,750ක් විදේශීය සමාගමක් වෙත ලබා දීමට ගනු ලැබූ තීරණය පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ප්‍රාදේශීය මාධ්‍යවේදී මනෝජ් ප්‍රසන්න මහතා තොරතුරු ඉල්ලා ඇත.

    එහි වගඋත්තරකරුවන් ලෙස තොරතුරු දැනගැනීමේ කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සහ මහවැලි අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු 11 දෙනෙකු නම් කර තිබේ.

    පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් යහපාලන රජය විසින් ශ්‍රී ලංකාව සහලින් සහ සීනිවලින් ස්වංපෝෂිත කරණ බවට කැබිනට් තීන්දුවක් ගත් බවයි. ඒ අනුව සීනි කර්මාන්තය වෙනුවෙන් උක් වගා කිරීම සඳහා පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික් මායිම් වන පරිදි ඉඩම් අක්කර 60,750 ක් රජය විසින් විදේශීය සමාගමකට පවරා දුන් බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි ඔහු පවසයි. එසේ පවරණ ලද ඉඩම් පිළිබඳ තොරතුරු තමන් වෙත ලබාදෙන මෙන් තමා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වෙතින් ඉල්ලීම් කළත් එම තොරතුරු ලබා දීම අදාල අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු පවසයි.

    ඊට එරෙහිව තමා තොරතුරු දැනගැනීමේ කොමිසම වෙත අභියාචනාධිකරණයක් ඉදිරිපත් කළත් එම කොමිසම විසින් ද තමන්ට සාධාරණයක් ඉටු නොකළ බව පෙත්සම්කරු සඳහන් කර ඇත.

    එබැවින් තමන් විසින් ඉල්ලා සිටින සම්පූර්ණ තොරතුරු ලබාදෙන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිසම හා මහවැලි අධිකාරිය වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට මෙම නඩුව ගොනු කර තිබේ.

    Latest News