අපනයනයට සැකසු මෝර වරල් තොගයක් සමඟ 06 ක් කල්පිටියේ දී මාට්ටු

දෙසැ 04, 2019

    කල්පිටිය, කුඩාව සහ අම්මාතොට්ටම් ප්‍රදේශයන්හි කළ වැටලිම්වලදී මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

    ශ්‍රී ලංකාවට අයත් සාගර කාලපය තුල සහ රට අභ්‍යන්තරයේ සිදු වන ජාවාරම් කටයුතු මැඩපැවැත්විම වෙනුවෙන් නාවික හමුදාව කල්පිටිය, කුඩාව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මාර්ගයේ ගමන් කරමින් තිබු සැක කටයුතු ලොරියක් නිරික්‍ෂණය කර එය පරික්‍ෂාවට ලක් කළ බව නාවික හමුදාව පවසයි. ලොරි රථය තුල තිබී මෝර වරල් සහිත උර 15 ක් සොයා ගෙන තිබේ.

    sharktail px 900 19 12 04

    මෙම මෝර වරල් තොගය සම්බන්ධයෙන් ලොරි රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින්ගේ කරුණු විමසීමේදී ‍කල්පිටිය, අම්මාතොට්ටම් ප්‍රදේශයේ තවත් මෝර වරල් තොගයක් සඟවා ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇත. ඒහිදී ද උර 15 ක අසුරා තිබු මෝර වරල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත. ඒ අනුව, උර 30 ක තිබි මෝර වරල් කිලෝග්‍රෑම් 1649 ක් සොයා ගැනීමට සමත් විය.

    එහිදී මෝර වරල් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථය සහ එහි සිටි සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර, එම සැකකරුවන් අවුරුදු 29, 36, 39 සහ 43 වන වියෙහි පසුවන කල්පිටිය සහ මුරුක්කන් හී පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්, මෝර වරල් සහ ලොරිය ඉදිරි නීතීමය කටයුතු සඳහා කල්පිටිය, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

    sharktail2 px 900 19 12 04

    තවද, අපනයනය කිරීම සඳහා මෝර වරල් ලබා ගැනීමට විශාල ලෙස මෝරුන් ඇල්ලීම හේතුවෙන් මෝර විශේෂ වඳ වී යෑමේ තර්ජනයකට ලක් වි ඇත. ජපානය හා චීනය වැනි නැගෙනහිර ආසියාතික රටවල මෝර වරල් වලින් සාදනු ලබන මිලෙන් අධික සුප් සඳහා අධික ඉල්ලුමක් ඇති හෙයින්, මෝර වරල් ලබා ගැනීම සඳහා මෝරුන් ඇල්ලීම ආර්ථික වශයෙන් ඉතා ලාභදායී රැකියාවක් බවට පත් වී ඇත.

    මෝර සුප් සඳහා මෝර වරල් හා සම්බන්ධව පවතින මාංශ පේශියේ කාටිලේජීය කොටස යොදා ගන්නා බැවින් අල්ලාගන්නා මෝරුන් ප්‍රධාන වරල් කපා සාගරයේදීම ඉවත් කර ගැනීමට ධීවරයන් කටයුතු කරන අතර, වරල් ඉවත් කර ගත් පසු මෝරුන් නැවතත් මුහුදට මුදාහරින අවස්ථා ද දක්නට ඇත. තවද, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් වඳවී යන මෝර විශේෂයන් ලෙස සැලකෙන මිනිමුතු මෝරා, පොල්කොල මෝරා සහ කස මෝරා යන මෝර විශේෂයන් ඇල්ලීම සම්පුර්ණයෙන් තහනම් කර ඇත.

    මෝරා සමුද්‍ර පරිසර පද්ධතිය සමතුලිතව තබා ගැනීමට බෙහෙවින් උපකාරී වන මත්ස්‍යයෙකු ද වේ. මෙවැනි නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සහ කැපවිමෙන් කටයුතු කරනු ලබයි.

    Latest News