සවස 1.00න් පසු අදත් වැසි

නොවැ 26, 2019

    ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වනවිට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර හෙට (27) වනවිට මුළුමනින්ම ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    එම නිසා දිවයින පුරා (විශේෂයෙන් දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල) වැසි තත්ත්වය තවදුරටත් වැඩි වීමක් හෙට දින සිට බලාපොරොත්තු විය හැකියි. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සෙසු ප්‍රදේශවල තැනින් තැන ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    සබරගමුව, බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75-100 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැක. මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වල සුළගේ වේගයේ විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේ දී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක. මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

    කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශවලද සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩි විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකියි.

    Last modified on අඟහරුවාදා, 26 නොවැම්බර් 2019 08:46

    Latest News