විශේෂ හදවත් සැත්කම් වැඩසටහනක් අනුරාධපුරේ දී (වීඩියෝ)

නොවැ 22, 2019

    හදවත් රෝගවලට ගොදුරු වූ පුද්ගලයන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා විශේෂ හදවත් සැත්කම් වැඩසටහනක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පසුගියදා සංවිධානය කර තිබිණි.

    අපේ රටේ බොහෝ පිරිසක් මේ වනවිට හදවත් රෝග හේතුවෙන් මියයති. ජනතාව අතරේ හදවත් රෝග වැළඳීමේ ප්‍රවනතාවයක් ද මෑත අවධියේ දක්නට ලැබේ. බොහෝ අවස්ථාවලදී රටට, සමාජයට, විශාල මෙහෙවරක් කළ හැකි පුද්ගලයන් හදවත් රෝගවලට ලක්ව අකාලයේ අප අතරින් වෙන්වේ. මෙය රටට විශාල පාඩුවකි.

    මේ නිසාම සෞඛ්‍ය අමාත්‍යංශය, හදවත් රෝගවලට ගොදුරු වූ පුද්ගලයන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමුකර තිබේ.

    ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය හදවත් රෝගීන් පිරිසක් වෙනුවෙන් විශේෂ ප්‍රතිකාර වැඩසටහනක්, හදවත් රෝග විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ඉකුත් දින දෙදිනක් පුරා පැවැත්වුයේ ඒ අනුවයි.

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක හා උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය පාලිත බණ්ඩාර මහතාගේ උපදෙස් අනුව මෙම විශේෂ ප්‍රතිකාර වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය චින්තක බටවල මහතා විසිනි.

    ඒ අනුව මෙම ප්‍රතිකාර වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ හදවත් රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න, කොළඹ ජාතික රෝහලේ හදවත් රෝග විශේෂඥ වෛද්‍ය ටානියා පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු වෛද්‍යවරුන්, හෙද හෙදියන්, ඇතුළු කාර්ය මණ්ඩලයේ කණ්ඩායමක්, කොළඹ සිට පැමිණ ස්වේච්චාවෙන් මේ සඳහා දායක වුහ.

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ "කන්තුක කැතීටර්කරණ පරීක්ෂනගරයෙදී සිදුකළ මෙම දෙදින විශේෂ ප්‍රතිකාර වැඩසටහනේදී, කඩිනම් ප්‍රතිකාර අවශ්‍යව සිටි හදවත් රෝගීන් 25කට පමණ "ස්ටේන්ට්ස්" (STENTS ) යොදා ප්‍රතිකාර කිරීම මෙහිදී සිදුවිය.

    මේ අතුරින් දැනට ලොව පවතින හොඳම හදවත් සැත්කම් ක්‍රමවේදය වන FFR (Fractional Flow Reserve ) භාවිතයෙන් ප්‍රතිකාරයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුකෙරුණු ප්‍රථම වතාව මෙය බවත්, දැනට කොළඹ මහරෝහලේ පවා නොමැති IFFR (Intelligent Fractional Flow Reserve) උපකරණයක් ලංකාවේ පළමු වතාවට මෙම රෝහලේ ස්ථාපිත කොට ඇති බවත් මෙහිදී අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ හදවත් රෝග විශේෂඥ වෛද්‍ය ටානියා පෙරේරා මහත්මිය පවසා සිටියාය.

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදවත් රෝග විශේෂඥ වෛද්‍යවරුන් වන අජිත් වන්නිආරච්චි සහ දිනුෂ ධර්මවර්ධන සහ හදවත් විද්‍යුත් භෞතවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජයගුණවර්ධන මහත්වරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය මේ සඳහා උපරිමයෙන් තම දායකත්වය දැක්වූහ.

    Last modified on සෙනසුරාදා, 23 නොවැම්බර් 2019 17:23

    Latest News