විපක්ෂ නායක අර්බුදය එජාපය විසඳා ගත යුතුයි: කතානායක

නොවැ 21, 2019

    පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා තෝරා ගැනීම දී මතුව තිබෙන තත්ත්වය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විෂය පථයට අයත් නොවන බවත් එය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ විසඳා ගත යුතු අභ්‍යන්තර කරුණක් බවත් කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

    අද පෙරවරුවේ පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයේන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය ඔහු මේ බව කියා සිටියේය.

    පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විරුද්ධ පාර්ශ්වයේ නායකයා පිළිගනු ලබන්නේ විරුද්ධ පාර්ශ්වයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් සිටින දේශපාලන පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා බව කථානායකවරයා එහිදී සඳහන් කළේය. දේශපාලන පක්ෂයේ මහ ලේකම්වරයා විසින් කථානායකවරයා වෙත ඒ බව ලිඛිතව දැන්වීමක් කිරීම පක්ෂ මහ ලේකම්වරයාගේ යුතුකමක් බව, කථානායකතුමා විසින් කාරක සභාවට අවධාරණය කරනු ලැබිණ.

    සජිත් ප්‍රේමදාස මහතාව විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස පත් කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් අත්සන් කළ ලිපියක් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් ලබාදුන් බවත් කතානායකවරයා එහිදි සඳහන් කලේය. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස නම් කරමින් එවන ලද ලිපියක් කථානායකවරයා විසින් කාරක සභාවට කියවන ලදී. ඉන් අනතුරුව, අජිත් පී. පෙරේරා මහතා මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අත්සන් කරන ලද ලිපිය කථානායකතුමා වෙත භාරදෙන ලදී.

    ලක්ෂ්මන් කිරිඇල්ල , රවුෆ් හකීම් , රවි කරුණානායක , දිනේෂ් ගුණවර්ධන , මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම, ඩග්ලස් දේවානන්ද, විමල් වීරවංශ, මහින්ද සමරසිංහ, නිමල් සිරිපාල ද සිල්වා, අමීර් අලි හා අජිත් පී. පෙරේරා යන මන්ත්‍රීවරු කාරක සභාවට සහභාගී වූහ.

    Latest News