ඌව වෙල්ලස්ස නිදහස් සටනේ දෙසීයවස් සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

නොවැ 30, 2018

    විදේශීය චින්තනයන්ට සහ න්‍යාය පත‍්‍රවලට අනුව වැඩකරමින්, ජෝන් ඩොයිලි ක‍්‍රමයට නැවතත් රට පාවාදීමට උත්සහ කරන ඇතැම් දේශපාලනඥයන්ට පාඩම් කියා දීම ඌව වෙල්ලස්ස නිදහස් සටනට අවුරුදු 200 ක් සපිරෙන මේ අවස්ථාවේ රටේ ජනතාව සතු වගකීමක් බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (30) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලවේ පැවති ඌව වෙල්ලස්ස නිදහස් සටනේ දෙසීයවස් සැමරුම් උත්සවයට එක් වෙමිනි.

    වර්තමානයේ ඇතිවී තිබෙන ඇතැම් දේශපාලන තත්ත්වයන් පිළිබඳ සැලකිල්ල යොමු කිරීමේදී අපගේ සටන්කාමී ඉතිහාසයේ මෙන්ම ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේ අතීත මතක සටහන් සමග ලේ මස් නහර පිනා යමින් පිබිදෙන දේශානුරාගයෙන් සහ දේශපේ‍්‍රමිත්වයෙන් රටේ සියලූ ජනතාව මාතෘ භූමිය වෙනුවෙන් අවධි විය යුතුව ඇති බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    ජෝන් ඩොයිලිලාට කටවුට්, පෝස්ටර් ගහන සමාජයක් තවමත් මේ රටේ තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා, දේශපේ‍්‍රමියා සහ දේශද්‍රෝහියා අතර වෙනස මතු පරපුරට සහ ජනතාවට කියාදීමට රටේ සියලූ විද්වතුන් ඒකරාශී විය යුතු බව ද පැවසීය.

    කැළණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශය සහ ජනාධිපති කාර්යාලය එක්ව මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබූ අතර ඌව වෙල්ලස්ස නිදහස් සටනට අවුරුදු 200 ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

    “1818 ඌව වෙල්ලස්ස නිදහස් අරගලය දෙසීයවස් සැමරුම ජනශ‍්‍රැති සංග‍්‍රහය” සහ “ඌව වෙල්ලස්ස නිදහස් අරගලය දෙසීයවන් සමරු ශාස්තී‍්‍රය සංග‍්‍රහය” මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    එමෙන්ම ඌව වෙල්ලස්ස නිදහස් සටනට උරදුන් ජාතික වීරයන්ගේ පවුල්වල සාමාජිකයන් වන ජිනදාස පතිරණ, මුණිදාස පුංචිහේවා යන මහත්වරුන් වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඞී.එම්. සේමසිංහ මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

    අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, පළාත් ආණ්ඩුකාරවරු, ප‍්‍රධාන අමාත්‍යවරු ද රාජ්‍ය නිලධාරින් විශ්වවිද්‍යාල උපකුලපතිවරු, ආචාර්ය මහාචාර්යවරු ඇතුළු විද්වත් පිරිසක් මෙම සැමරුම් උත්සවයට එක්ව සිටියහ.

    Latest News