ඡන්දය පැවැත්වීම සාමකාමීයි; ඡන්ද නීති බරපතල උල්ලංඝණයන් කිසිවක් නැහැ; පොලිස් මාධ්‍ය ප්‍රකාශක

නොවැ 16, 2019

    අද පස්වරු 5.00න් අවසන් වූ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රකාශ කිරීමේ කාලය තුළ දිවයිනේ සෑම ප්‍රදේශයකම සාමකාමී තත්වයක් පැවති බවත්, බරපතල ගැටුම් කිසිවක් මෙම කාලසීමාව තුළ වාර්තා නොවූ බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

    අද ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කරන විට ඡන්ද මධ්‍යස්ථාන සඳහා 25,700කට ආසන්න පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් රාජකාරියේ යොදා සිටි බව ඔහු කියා සිටියේය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියේ ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු පැවති මාධ්‍ය සාකච්ජාවක් අමතමින්. මේ කාලසීමාව තුළ තුන් දහසකට ආසන්න ජංගම මුර සංචාර සහ පොලිස් මාර්ග පරීක්‍ෂාවන් ද රට පුරා ක්‍රියාත්මක කර තිබේ. මේ වනවිට ඡන්ද ප්‍රකාශය අවසන් වීමෙන් පසු එම පෙට්ටි සඳහා මුද්‍රා තැබීම සිදුවන බවත්, ඒ සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් තවත් 25,000කට ආසන්න නිලධාරීන් පිරිසක් යොදවමින් ඊට අවශ්‍ය ආරක්‍ෂාව සැලසීමට කටයුතු කර ඇති බව ඔහු පැවසීය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා...

    “ඡන්ද පෙට්ටි සඳහා මුද්‍රා තැබීමෙන් පසු ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඒවා ගෙන යනු ලබන අතර, ඒ සඳහා ද පොලිස් ආරක්ෂාව සැපයීමට කටයුතු කර තිබෙනවා. සෑම ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානයකටම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු හෝ පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ පොලිස් නිලධාරීන් 50කට ආසන්න සංඛ්‍යාවක් යොදවා තිබෙනවා. මීට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද ඡන්ද මධ්‍යස්ථාන වටා ආරක්‍ෂාවට යොදවා තිබෙනවා. ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත පුද්ගලයින් ඇතුල් කරගැනීමේදී මැතිවරණ කොමිසමේ අනුමැතිය යටතේ සිදුවන අතර, ඔවුන් පොලිස් නිලධාරීන්ගේ දැඩි පරීක්‍ෂාවට ලක්වනවා. පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරිමට ද පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා. ඡන්ද ප්‍රකාශ කිරීම සිදුවන අවස්ථාවන්හිදී අත්අඩංගුවට ගැනීම් කිහිපයක් සිදුවුණා. ඡන්ද පත්‍රිකා, ඡයාරූප ගැනීම වරදක් බවට පනතේ සඳහන්ව තිබියදී ඡායාරූප ගත් පුද්ගලයින් 08 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඡන්ද මධ්‍යස්ථාන අවට රැඳී සිටිමට තහනම් කර තිබියදීත් එලෙස රැඳී සිටි පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා“ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

    Latest News