ජනාධිපතිට සිය කාර්ය මණ්ඩලයේ උපහාරය

නොවැ 15, 2019

    ජනාධිපතිවරයා වෙත සිය කාර්ය මණ්ඩලයේ උපහාරය පිළිගන්වමින් “සේවා ප්‍රසාධනී” නමින් වැඩසටහනක් ජනාධිපති මන්දිරයේ දී ඊයේ(14) සංවිධානය කර තිබිණි.

    මේ අවස්ථාවේදී මහජන සුබසිද්ධිය වෙනුවෙන් සුවිශේෂි සහ සාර්ථක ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීම ඇතුථ රට සහ ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා ඉකුත් පස් වසර පුරා ඉටු කළ කාර්යභාරය අගයමින් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීය.

    රාජ්‍ය සේවයෙන් දූෂණය, වංචාව සහ අක්‍රමිකතාව පිටුදැකීමට ඝෘජු තීන්දු තීරණ රැසක් ගනිමින් සහ පැවති රජයේ මෙන්ම පවතින රජයේ ද වංචා දූෂණ සොයාබැලීමට ජනාධිපති කොමිෂන් සභා පත්කරමින් සුපිරිසිදු රාජ්‍ය පාලනයක් යන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අර්ථවත් කළේ වත්මන් ජනාධිපතිතුමා බව ඒ අවස්ථාවේ අදහස් දැක්වූ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා පැවසීය.

    මහජන සුබසෙත උදෙසා වැඩිම ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළ ජනාධිපතිවරයා වත්මන් ජනාධිපතිතුමා බව මෙහිදී පෙන්වා දුන් උදය ආර්. සෙනෙවිරත්න මහතා එහි ප්‍රතිලාභ අද මේ රටේ ගම් දනව් සිසාරා අහිංසක ජනතාව භූක්ති විඳිමින් සිටින බව ද කියා සිටියේ ය.

    උපේක්ෂාව සහ නිහතමානිත්වය ප්‍රගුණ කළ වත්මන් ජනාධිපතිවරයා තමා වෙත එල්ල වූ සියලු නින්දා අපහාස සහ චෝදනා උපේක්ෂාවෙන් විඳදරා ගත් අතර තමන්ගේ බලතල අඩුකර ගනිමින් පමණක් නොව තම ධූරකාලය ද අඩුකර ගනිමින් එතුමා ලොව කිසිඳු රාජ්‍ය නායකයෙකු ලබානොදුන් ආදර්ශයක් රටටත්, ලෝකයටත් ලබාදුන් බව ද පෙන්වා දුන්නේය.

    ඉකුත් පස් වසර තුළ රටේ භෞතික සංවර්ධනය සේම අධ්‍යාත්මික සංවර්ධන වෙනුවෙන් සුවිශේෂී වැඩකොටසක් ඉටුවී තිබෙන බව පෙන්වා දුන් උදය ආර්. සෙනෙවිරත්න මහතා එහි ප්‍රතිලාභ අද දිනට වඩා මතු පරපුර වෙනුවෙන් බව ද සඳහන් කළේය. මෑත යුගයේ කිසිදු රාජ්‍ය නායකයෙකු සමත්නොවූ අයුරින් රටට හිතකර අන්දමින් ජාත්‍යන්තර දිනා ගැනීමට ද වත්මන් ජනාධිපතිතුමා සමත්වු බවත් එහි ප්‍රතිලාභ හෙට දිනයේ දී රට නව ඉසව්වකට රැගෙන යාමට සමත්වනු ඇති බවත් සඳහන් කළේය.

    ජයන්ති සිරිසේන මැතිනිය ද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුථ පිරිසක් ද, ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සහ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සිකුරාදා, 15 නොවැම්බර් 2019 11:18

    Latest News