නිවුන් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනපතිගෙන් මුදල් පරිත්‍යාග

නොවැ 15, 2019

    නිවුන් දරුවන් සිටින පවුල් 69ක් වෙනුවෙන් මුදල් පරිත්‍යාග පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ(14) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

    නිවුන් දරුවන්, තුන් නිවුන් දරුවන් සහ පස් නිවුන් දරුවන් සිටින පවුල් 69 ක් වෙනුවෙන් එම දරුවන්ගේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා රුපියල් ලක්ෂ 10, ලක්ෂ 20 සහ ලක්ෂ 25 බැගින් වූ මුදල් පරිත්‍යාග පිරිනැමීම ඒ අනුව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

    නිවුන් දරුවන් ලැබීමට තරම් වාසනාවන්ත වූ එහෙත් එම දරුවන් හදා වඩා ගැනීමේ දී ආර්ථික දුෂ්කරතාවලට මුහුණදුන් පවුල් උදෙසා මුල්‍ය අනුග්‍රහය දැක්වීමේ වැඩසටහනක් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ අතර ඒ අනුව දිවයින පුරා සිටින නිවුන් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ වන විට විශාල මුදලක් පිරිනැමීමට කටයුතු කර තිබේ.

    මේ අතර දැයේ දරුවන් සුරැකීම වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් 2019 ලෝක ළමා දිනයට සමගාමීව විශේෂ භාර අරමුදලක් ද දියත් කළ අතර එම අරමුදල සඳහා ප්‍රතිපාදන සම්පාදනය වෙනුවෙන් “දිරි දරු සම්පත” නමින් නව ලොතරැයියක් හඳුන්වාදීම ද මෙහි දී ජනාධිපතිවරයා අතින් සිදු විය.

    ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් හඳුන්වා දුන් මෙම ලොතරැයියේ පළමු ටිකට්පත ජනාධිපතිවරයා වෙත අළෙවි කෙරිණි.

    මේ අතර ජනාධිපති අරමුදල යටතේ දුෂ්කර ප්‍රදේශවල රෝහල් 12 ක් සඳහා අත්‍යාවශ්‍ය උපකරණ ප්‍රදානය සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    Latest News