අට ලෝ දහමින් කම්පා නොවූ වත්මන් ජනපති මෙරට පහළ වූ ආදර්ශවත් රාජ්‍ය නායකයෙක්

නොවැ 15, 2019

    අට ලෝ දහමින් කම්පා නොවූ, දුර දක්නා නුවණින් කටයුතු කළ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙරට පහළවූ ආදර්ශවත් රාජ්‍ය නායකයෙක් බව මහා සංඝරත්නය පෙන්වා දෙති.

    ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ අයදුම්පත සකස් කිරීමේ විද්වත් මණ්ඩලය, ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය, හා බෞද්ධ උපදේශක සභාව, බෞද්ධ බුද්ධි මණ්ඩලය, සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය නියෝජනය කරන ස්වාමින් වහන්සේලා සහ ජනාධිපතිතුමා අතර හමුවක් පසුගිය දා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහි දී උන්වහන්සේලා මේ බව පෙන්වා දුන්හ.

    ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කරමින් එය සුරක්ෂිත කිරීමට ගත් පියවර මෙන්ම මෙරට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ජනාධිපතිතුමා ඉටුකළ මෙහෙවර සුවිශේෂී බව මෙහිදී පෙන්වා දුන් මහා සංඝරත්නය මෙරට පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීමට ද වත්මන් ජනාධිපතිතුමා ඉටු කළේ කිසිඳු යුගයක ඉටු නොවූ වැඩකොටසක් බව කියා සිටියහ.

    එමෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශ ඇතුළු දිවයින පුරා පවතින අඩු පහසුකම් සහිත විහාරස්ථාන සංවර්ධනයට සහ ඒවායේ වැඩ වෙසෙන භික්ෂුන් වහන්සේලාගේ සුබසාධනය වෙනුවෙන් ජනාධිපතිතුමා ඉකුත් පස් වසර පුරා පුළුල් වැඩපිළිවෙළක් දියත් කළ බව ද උන්වහන්සේලා පෙන්වා දුන්හ.

    උතුම් ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන ඉදිරි පියවර ක්‍රියාවට නැංවීම සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන්වල ඉදිරි කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

    සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය වෙත රුපියල් ලක්ෂ 100ක මුදල් ප්‍රදානයක් සිදු කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    Latest News