ලිට්‍රෝ සමාගමෙන් දඹර අමිල හිමිට ගෙවිමක්

නොවැ 29, 2018

    ලිට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරිමේ චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද යළි විභාගයට ගැණින. 

    නඩුව අද සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබිණ.

    අද දින ලිට්රෝ ගෑස් සමාගමේ මූල්‍ය පාලක වශයෙන් කටයුතු කළ මුදිත තමානගම මහතා සාක්ෂි ලබා දුන්නේය.

    විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මතු කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් සාක්ෂිකරු 2016 වසරෙ සිට පසුව පූජ්‍ය දඹර අමිල හිමියන්ට ප්‍රවාහන දීමනා වශයෙන් මාසිකව රුපියල් එක්ලක්ෂ විසිපන් දහස බැගින් ගෙවීමට සමාගමේ පාලනාධිකාරියෙන් යෝජනා ඉදිරිපත් වූ බවත් කියා සිටියේයා.

    ඊට තමා විරුද්ධ වූ බවත් ඉන් පසුව මසකට රුපියල් අනු පන්දහසක් බැගින් අමිල හිමියන්ට සමාගමේ රහසිගත ගිණුමකින් ගෙවීම් කිරීමට පියවර ගැනුණ බව ද සඳහන් කළ සාක්ෂිකරු මේ ආකාරයෙන් සමාගමේ සේවකයින් නොවන පුද්ගලයින් 39 දෙනෙකුට පමණ ගෙවීම් සිදුකර ඇති බවද අධිකරණය හමුවේ ප්‍රකාශ කලේය.

    වැඩිදුර සාක්ෂි විභාගය හෙට දින පැවැත්වේ.

    2014 පෙබරවාරි පළමු වනදා සිට 2015 ජනවාරි 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර ඇත.

     

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 29 නොවැම්බර් 2018 20:01

    Latest News