දේශපාලන අර්බුදය විසඳීමට විජේදාසගෙන් පාර්ලිමේන්තුවට සුවිශේෂි යෝජනාවක් (විඩියෝ)

නොවැ 29, 2018
  • විධායකය සහ ව්‍යවස්ථාදායකය සමඟ ඇතිවී ඇති මත ගැටුමට කඩිනමින් විසඳුමක් ලබාගෙන ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ඨ කිරීමට ඉදිරිපත් වන ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියා.

    අද පාර්ලිමේන්තුව ආරම්භයෙන් පසු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඉල්ලා සිටියේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ නැවත සාකච්ජා කිරීමෙන් පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ඇති කණ්ඩායමට ආණ්ඩුව මෙහෙයවීමේ අවස්ථාව ලබා දිය යුතු බවයි.

    දේශපාලන මත ගැටුම් තුළින් සහ අතීත සිදුවීම් තුළින් මේ වන විට පාඩම් ඉගෙනගෙන ඇති බැවින්, අද වන විට ඇති අර්බුදය විසඳීමට ව්‍යවස්ථාදායකය අධිකරණය හමුවට යාම සුදුසු ක්‍රියාවක් නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය. ඒ අනූව මතුව ඇති දේශපාලන ගැටළුව ව්‍යවස්ථාදායකය තුළින් විසඳාගැනීමට ඉදිරිපත් වන ලෙස ද කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඔහු ඉල්ලා සිටියා.

    දැනට රට තුල ස්ථාපනයකර ඇති ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ශක්තිමත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශාල කාර්ය භාරයක් සහ ඔහුගේ විධායක බලතල පාර්ලිමේන්තුවට පරවාදීම ද සිදුකර ඇති බව ඔහු කියා සිටියේය. ඒ අනූව, ජනාධිපතිතුමා රට සමෘද්ධිමත් දේශයක් කරා ගෙන යාමට කැපවීමෙන් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.දැනට පවතින දේශපාලන ගැටළුව ඉදිරි දින කිහිපයේ දී යහපත්ව විසඳාගැනීමට හැකියාව ඇති බව ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සභාව හමුවේ ප්‍රකාශ කළේය. 

    කතානායක කරූ ජයසූරිය මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කරමින් අද පාර්ලිමේන්තුවට නොපැමිණි අතර විජයදාස රාජපක්ෂ මහතා පමණක් පාර්ලිමේන්තු සභාවාරය සහභාගී වූ අතර එහිදී ඔහු මෙම ප්‍රකාශය සිදුකළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 29 නොවැම්බර් 2018 15:43

    Latest News