කොළඹ වරාය නගරයේ ඉඩම් බදු ඔප්පුව ජනපති ඉදිරියේ චීන සමාගම වෙත භාර දෙයි

ඔක් 30, 2019

    2015 වසරේදී තම රජය බලයට පත්වූ විගස ඉඩම් හුවමාරුව හරහා ශ්‍රී ලංකාවේ ස්වෛරිත්වයට හානිකර බලපෑම් එල්ල වී නොමැති බවට තහවුරු කර ගැනීම සඳහා කොළඹ වරාය නගර ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කිරීමට පියවර ගත් බව ජනාධිපතිතුමා පවසයි.

    එම සාකච්ඡාවන්හි දී භූමියේ හිමිකාරිත්වය ශ්‍රී ලංකාව වෙත රැදී පවතින බවට සහතික විය හැකි අන්‍යෝන්‍ය වශයෙන් පිළිගන්නා සංශෝධනයන්ට එළැඹීමට දෙපාර්ශවයට හැකි වූ බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    කොළඹ වරාය නගරයේ ඉඩම් බදු ඔප්පුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ක්ෂුවාන්ම (Chang Xueyuan)හතා ඉදිරියේ දී අද (29) ජනාධිපති කාර්යාලයේ දී භාර දෙනු ලැබූ අතර එම අවස්ථාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    මෙම භූමිය පළමුව නාගරික සංවර්ධන අධිකාරියට පවරාදීම සිදු කෙරුණු අතර එම අධිකාරිය විසින් අයිතිය තමන් වෙත තබාගෙන බදු එකඟතාවය යටතේ අදාළ භූමිය CHEC port city Colomboපෞද්ගලික සමාගමට භාර දී තිබේ. වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාfවේ දිගුකාලීන සංවර්ධනය සඳහා වන වටිනා ආයෝජනයක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා එය විශාල වශයෙන් විදේශ ආයෝජන ආකර්ෂණය කරගනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

    ජනාධිපතිතුමා සහ චීන තානාපතිවරයා ඉදිරියේ දී බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එස්.වී රත්නායක මහතා වෙත අදාළ ලියකියවිලි භාරදනු ලැබීය. පසුව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බදු පදනම මත ලබාදෙනු ලබන එම ඉඩමට අදාළ ලියවිලි CHEC port city Colombo පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ JiangHouliang මහතා වෙත භාරදෙනු ලැබීය.

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.ඩබ්. කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    Latest News