තුන්වන පන්තියේ සැලකිළි හිමිවී ඇති පුත්තලමේ ජනතාවට සුපිරි පන්තියේ සැලකිළි ලබා දීමට කටයුතු කරනවා - සජිත්

ඔක් 23, 2019

    පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දී සිටින කසළ ප්‍රශ්නයට විසඳුම් ලබා දී තුන්වන පන්තියේ සැලකිළි හිමිවී ඇති පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට සුපිරි පන්තියේ සැලකිළි ලබා දීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේපුත්තලම නගරයේ පැවති ජන හමුවට අද (23) දිනඑක්වෙමිණි. මෙහිදී පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් සජිත් ප්‍රේමදාස මහතාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා...
    “පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන කුණු ප්‍රශ්නයට කමිටු පත් කර බෝල පාස් කරන්නේ නැතුව සජිත් ප්‍රේමදාසගේ අතට අරගෙන ප්‍රශ්නයට ස්ථීර විසඳුම් ලබා දෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට වැඩි පිරිසක් නියැලී සිටින සංචාරක කර්මාන්තය නිසා ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙනවා. සංචාරක කර්මාන්තය ගොඩනැගීම සඳහා දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කර සංචාරක ක්ෂේත්‍රය සුර පුරයක් බවට පත් කරනවා. කරදිය හා මිරිදිය ධීවර කර්මාන්තය, ඉස්සො කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා දැවැන්ත ජාතික ධීවර සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැළසුම් කර අවසන්.
    ජාතිවාදය, ආගම්වාදය තුළින් ජන කොටස් භේද කර එක් කොටසකට වැඩි සැලකිල්ලක් සහ තවත් ජන කොටසකට අඩු සැලකිල්ලක් ලබා දීම තුළින් අඩු සැලකළි හිමිවන ජනතාව තුළ රටේ තැනක් නොමැති බව හැගීම් ඇතිවී පීඩනයට පත් වෙනවා. එවිට ඔවුන් විනාශකාරී ක්‍රියා කිරීමට පෙළඹෙන්න ඉඩ තියෙනවා. ජාතිවාදය හා ආගම්වාදය, ත්‍රස්තවාදය ඇති වීමට ප්‍රධාන හේතුවක්.ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මිලිටරි ආරක්ෂාව තහවුරු කරනවා සේම, සෑම ජාතියක්ම ආගමක්ම ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට මේ අපේ මාතෘ භූමිය කියන හැගීම ලබා දිය යුතුයි. සහෝදරත්වයේ, එකමුතුභාවයේ හැගීම දිය යුතුයි. ත්‍රස්තවාදය වැළැක්විය හැකි නිවැරදි විසඳුම එයයි.
    බුදුන් වහන්සේ දේශනා කර තියෙන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා යනුවෙන්. බුදුරජාණන් වහන්සේ ජාති ආගම් ‍භේද මත කිසිඳු ජන කොටසක් වෙන් කළේ නැහැ.තමන් පිරිසිදු සිතින්, බෞද්ධ ප්‍රතිපත්ති වලට අනුකූලව, දස රාජ ධර්ම අනුගමනය කරමින් රට පාලනය කිරීමට කටයුතු කරනවා” යනුවෙන් පැවසීය.

    මුස්ලිම් ජාතික තරුණයෙකු විසින් නිර්මාණය කරන ලද සජිත් ප්‍රේමදාස මහතාගේ රුව සහිත ඡායාරූපයක් සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

    Latest News