වැටුප් විෂමතාවලට විසඳුමක් දෙනවා ; අමාත්‍ය සජිත්

ඔක් 23, 2019

    ගුරු සේවය පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයම දශක ගණනාවක සිට මුහුණ දෙන තනතුරු විෂමතා හා වැටුප් විෂමතා ඇතුළු සියලුම ගැටළුවලට ඒකාබද්ධ විසඳුමක් මගින් අවසන් තිත තැබීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ ජාතික අධ්‍යාපන වෘත්තිකයන්ගේ විශේෂ මහා සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිණි. මෙම සම්මේලනය අද (23) විහාර මහා දේවි එළිමහන් රංග පීඨ යේදී පැවැත්විණ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා “දශක ගණනාවක සිට කුඩම්මාගේ සැළකිලි හිමිවුණු ගුරු උපදේශක මහත්ම මහත්මීන්ගේ සේවය රජයේ කැබිනට් අනුමැතිය හරහා ස්ථාපනය කිරීමට කටයුතු කරනවා. ඊට සමගාමීව ව්‍යාපෘති නිලධාරීන් රැසකගේම සේවාව ස්ථාපනය කරනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවක මහත්ම මහත්මීන් 4772ක් දේශපාලන පළිගැනීම්වලට ලක්ව තිබෙනවා. තම රජය යටතේ ඒ සියල දෙනාගේම පළිගැනීම් ගැටලුවලට විසඳුම් ලබාදෙනවා. ගුරු ක්ෂේත්‍රයේ සහ විදුහල්පති ශ්‍රේණියේ වැටුප් විෂමතා පවතිනවා. ගුරු මැණියන්ගේ සහ පියවරුන්ගේ අයිතිවාසිකම් සුරකින ආකාරයට ඔවුන්ගේ සේවය අප ශක්තිමත් කිරිමට කටයුතු කරනවා.

    පසුගිය දශක ගණනාවක් තුළ සමස්ත රාජ්‍ය සේවයේම ප්‍රශ්නවලට සාධණීය ප්‍රගතිශිලි විසඳුමක් ලැබුණේ නැහැ. එක් එක් සේවාවන්ට එක් එක් ආකාරයට කටයුතු කිරීමේ අවිධිමත් ක්‍රමවේද ක්‍රියාත්මක වීම තුළින් සමස්ත රාජ්‍ය සේවය විශාල ප්‍රශ්න රැසකට අද මුහුණ දෙමින් සිටිනවා. සමස්ත රාජ්‍ය සේවයම එක් තැනකට ගෙනවිත් දශක ගණනාවක සිට මුහුණ දෙන සියලුම ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක් තුළින් ක්‍රියාත්මක කරනවා. රාජ්‍ය සේවයේ පවතින සියලුම ගැටලු, අඩුපාඩු අවබෝධ කරගනිමින් ඒවා තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඉඩ නොතබා, අංග සම්පුර්ණව විසඳමින් කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් මගින් ජනතාවට සේවය සැලසීමට කටයුතු කරනවා“ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    Last modified on බදාදා, 23 ඔක්තෝබර් 2019 18:18

    Latest News