පූජිත හා හේමසිරි නොවැ.06 තෙක් යළි රිමාන්ඩ්

ඔක් 23, 2019

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් නොවැම්බර් මස 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

    සිද්ධියට අදාළව ප්‍රකාශ ගණනාවක් සටහන් කරගෙන ඇති බවත් සැකකරුවන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවත් ඔහු අධිකරණයට දන්වා සිටියේය. මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිට ගෙන් ඉවත් කර වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු හමුවට යොමු කරන ලෙසයි.

    ඊට ප්‍රතිචාර දක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ මෙම ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ සිදුකරන ලෙසයි. ඒ අනුව සැකකරුවන් නොවැම්බර් මස 6 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන්ද නියම කළේය.

    Last modified on බදාදා, 23 ඔක්තෝබර් 2019 10:15

    Latest News