තරුණ සම්මේලන සඳහා වසරකට මිලියන 10 බැගින් ලබාදීමට පියවර

ඔක් 19, 2019

    අනාගතය පෝෂණය කරලීම සඳහා තරුණ දායකත්වය ලබාගැනීමේ අරමුණින් ආසන මට්ටමින් තරුණ සම්මේලන ස්ථාපිත කොට එහි සම්මේලනයන් සඳහා වසරකට මිලියන 10 බැගින් ලබාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


    අද (19) පෙරවරුවේ කොළඹ, හිල්ටන් හෝටලයේ පැවැති එක්සත් ජාතීන්ගේ ජාතික ආදර්ශ තරුණ සංවිධානයේ ජාතික සමුළුව අමතමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසූවේ බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී තරුණ සහභාගීත්වය ඊට ලබාගත යුතු බවය.
    නව ලෝකයේ ප්‍රවණතාවන්ට ශක්තිමත් ලෙස මුහුණ දෙමින් අපනයන ආර්ථිකයක් ඔස්සේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය ලෙස ඔසවා තැබීමේ ව්‍යායාමය ජයගැනීම සටන් පාඨවලින් නොහැකි බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා ඊට අවශ්‍ය දැඩි සහ අසීරු තීරණ ගැනීමේ දී තරුණ පරපුරේ පූර්ණ සහභාගීත්වය අවශ්‍ය බව ද එකී තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වීම තරුණ පරපුරේ වගකීමක් බව ද පෙන්වාදුන්නේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා...

    "මේ වන විට ශ්‍රී ලංකාව උසස් මධ්‍යම ආර්ථිකයක් බවට පත් වී තිබෙනවා. වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කර තිබෙනවා. තාක්ෂණික අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය දියුණු කරමින් පවතිනවා. ඒ වගේම උසස් අධ්‍යාපනය දියුණු කිරිම හා නවීකරණය කිරීම පිළිබඳව අපගේ අවධානය යොමුවී තිබෙනවා.
    ආර්ථිකය දියුණු වන විට අඩු ආදායම් ලැබෙන රැකියාවල නිරත වන්නට බැහැ. වැටුප් වැඩි වන විට එයට සාපේක්ෂව දැනුම වැඩි විය යුතුයි. දැනුම වැඩි කිරිමට නම් දියුණු ආර්ථිකයකට යා යුතුයි. අද අප ක්‍රියාත්මක කර තිබෙන සැලසුම් ඉදිරි වසර පහ තුළ බංග්ලාදේශය හා මියන්මාරය අනුගමනය කරනු ඇතැයි මම විශ්වාස කරනවා. අපිට ඔවුන් සමග තරග කරන්නට බැහැ. ඒ නිසා තරඟකාරී නව ලෝකයකට අප ගමන් කළ යුතුයි.
    තරඟකාරී නව ලෝකයකට ගමන් කිරීම වෙනුවෙන් නුවර, කොළඹ, හම්බන්තොට ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු වැඩසටහන් රාශියක් ආරම්භ කර තිබෙනවා. නමුත් මේ සියල්ල සාර්ථක කර ගැනීමට තරුණ නායකත්වය හා දැනුම අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් නායකත්වය ලබාදිය යුතුයි. බොහෝ දෙනෙක් ජාතික මට්ටමේ නායකත්වයට යොමු වන්නේ නැහැ. ඒ නිසා උපරිම වශයෙන් තරුණයන් දෙදෙනෙකු පමණ පාර්ලිමේන්තු වරම් දිනාගන්නවා.
    ග්‍රාමීය මට්ටමේ විවිධ තරුණ සංවිධාන තිබෙනවා. එම සංවිධාන තුළින් සිදුවන වැඩකටයුතු ප්‍රමාණවත් නොවන නිසා ආසන මට්ටමේ තරුණයන් එක් වන සමුළුවක් ඇති කිරීමට අප බලාපොරොත්තු වනවා. එම තරුණ සමුළු මගින් තරුණ තරුණයන් එක්රැස් කරනවා. ග්‍රාමීය මට්ටමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී තරුණ සංවිධාන මූල්‍ය ගැටලුවලට මුහුණ දෙනවා. ඒ නිසා මූලික වශයෙන් සෑම සම්මේලනයකට රුපියල් මිලියන 10 බැගින් ලබාදීමට අප බලාපොරොත්තු වනවා. ඒ ඒ සම්මේලනවල සාර්ථකත්වය අනුව එම මුදල ඉහළ නැංවීමට අප කටයුතු කරනවා.”
    මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ එරන්ද වැලි අංගේ, එක්සත් ජාතීන්ගේ ජාතික ආදර්ශ තරුණ සංවිධානයේ හිටපු සභාපති ඉමිතියාස් බකීර් මාකර්, සර්ච් ෆොර් කොමන් ග්‍රව්න්ඩ් (Search for Common Ground) සංවිධානයේ මෙරට අධ්‍යක්‍ෂ නාවස් මොහොමඩ්, එක්සත් ජාතීන්ගේ ජාතික ආදර්ශ තරුණ සංවිධානයේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

    Latest News