ගෝඨාභය ඡන්ද වැඩට හමුදාපතිගේ ඡායාරූපය ගත්තාට අමාත්‍ය අජිත්ගෙන් පැමිණිල්ලක් (වීඩියෝ)

ඔක් 14, 2019

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළ කළ පුවත්පත් දැන්වීමක වත්මන් යුද හමුදාපතිවරයාගේ ඡායාරූපයක් සහ ප්‍රකාශයක් යොදා ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට අද(14) පැමිණිල්ලක් ලැබී තිබේ.

    ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු පර්යේෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා විසින් ඉදිරිපත් කර ඇති අදාළ පැමිණිල්ලේ විශ‍්‍රාමික හමුදා නිලධාරින්ගේ නිල ඇඳුම් සහිත ඡායාරූප පළ කර ඇති බවත් සඳහන් කර ඇත.

    ඒ අනුව ජනාධිපතිවරණයක් පැවැත්වෙන අවස්ථාවකදී දේශපාලන පක්ෂයක ප‍්‍රවර්ධනය සඳහා හමුදා නිල ඇඳුම් සහ ධූර දරණ යුද හමුදාපතිවරයා යොදා ගැනීම බරපතල ලෙස මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

    පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මෙසේ කීය.

    “ධුර දරන හමුදාපතිවරයෙකුගේ ඡායාරූප සහ ප‍්‍රකාශයකුත් නිල ඇඳුමින් යුතු විශ‍්‍රාම ගිය හමුදා නිලධාරීන්ගේ ඡායාරූප සහ ප‍්‍රකාශ භාවිතා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු ප‍්‍රවර්ධනය කිරීම සඳහා පුවත්පත් දැන්වීම් පල කරලා තිබුණා. ධූර දරන හමුදාපතිවරයත් මේකෙන් අපහසුතාවයට පත්ව තිබෙනවා. ඒ වගේම මැතිවරණ පිළිබඳව තියෙන නීතිරීති, ආචාර ධර්ම කඩවෙලා තියෙනවා.”

    “මේ වරදේ ප‍්‍රමාණය කොච්චරද කියලා කිව්වොත් ලංකාවේ තීන්දු වූ මැතිවරණ පෙත්සම්වල තිබෙන මූලධර්ම අනුව සැළකුවාහම බොහොම පැහැදිලිව මැතිවරණයක් ජයග‍්‍රහණය කරන අපේක්ෂකයකුගේ ජයග‍්‍රහණය නිශ්ප‍්‍රභා කිරීමට තරම් මේ මැතිවරණ වරද ප‍්‍රබලයි. මේ පිළිබඳ අපි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව සහ වාචිකව අපේ පැමිණිල්ල ඉදිරිපත් කළා.”

    “සමස්ත හමුදාව සහ හමුදා නිලධාරීන් අපහසුතාවයට පත් කරලා එක් පක්ෂයක මැතිවරණ ප‍්‍රවර්ධනය සඳහා මෙලෙස කටයුතු කිරීම අපි පිළිකුලෙන් හෙළා දකිනවා. අපිට හිතා ගන්න බැහැ. මේ තරම් වගකීම් විරහිත විදියට කටයුතු කරන්නේ ඇයි කියලා.”

    “සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වන රජයක් තුළ ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට මේ රටේ ආරක්ෂාව භාරදෙනවා කියන මැතිවරණ ප‍්‍රතිඥාව දුන්නට පස්සේ ඒකෙන් කලබලයට හා කම්පනයට පත්වූ ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම් කණ්ඩායම හදිස්සියේ කරපු නීතී විරෝධි කටයුත්තක් විදියට අපි මේක දකිනවා’’ යැයි ද ඔහු එහිදී පැවැසීය.

    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2019 17:56

    Latest News