ගෝඨාභය ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝග ඉල්ලීමේ පෙත්සම නිෂ්ප්‍රභවේ (වීඩියෝ)

ඔක් 04, 2019

    ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලූ රීට් පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් පිළිගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කළේය.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රීපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව අද(04) පස්වරු 6ට පත් ප්‍රකාශයට කළේය. අදාළ පෙත්සම පිළිබඳ කරුණු සලකා බැලීම ඔක්තෝබර් 02 සිට 04 දක්වා දින 3ක් පැවැත්විණ.

    අද පෙරවරුවේ පෙත්සම සලකා බැලීම යළි තුන්වන දිනයේත් ආරම්භ කෙරුණු අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා තවදුරටත් කරුණු දක්වමින් පුරවැසි පනතට අනුව යම් පුද්ගලයෙකුට ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීම පිළිබඳ බලතල පැවරී තිබෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට බව සඳහන් කළේය. එහෙත් 2015 වසරේ නොවැම්බර් මස 21 වනදා වන විට අමාත්‍ය මණ්ඩලයක් පත්කර නොතිබූ හෙයින් පුරවැසි පනතට අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ බලය ද ජනාධිපතිවරයා වෙත පැවරී තිබුණු බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දුන්නේය. ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමේදී පුරවැසි පනතට අනුව එම විෂය භාර අමාත්‍යංශයේ ලේකම්වරයාට කිසිදු කාර්යභාරයක් නොපැවරෙන බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.

    වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ලියවිල්ල ව්‍යාජ ලේඛනයක් බව පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණ ද එය මුළුමනින්ම අසත්‍ය බවයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ.

    2005 වසරේ නොවැම්බර් මස 21 වනදා රටේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ඒ අනුව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් තබා ඇති මෙම ලියවිල්ල සත්‍ය ලියවිල්ලක් බව මේ වන විට අධිකරණය හමුවේ පිළිගෙන ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

    එවැනි තහවුරු වූ තොරතුරක් තිබෙද්දී අදාළ ලේඛනය අසත්‍ය ලේඛණයක් බවට පෙත්සම්කරුවන් විසින් ප්‍රකාශ කිරීම බරපතළ කරුණක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එම කරුණ පදනම් කරගෙනම මෙම පෙත්සම ප්‍රතික්ෂේප කළ යුතු බවයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    අදාළ පෙත්සමේ හය වන වගඋත්තරකරු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව විධායක බලය ජනාධිපතිවරයා වෙත පැවරෙන බව සඳහන් කළේය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමට එවකට ජනාධිපති වශයෙන් සිටි මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණය ව්‍යවස්ථානුකූල බව ඔහු කියා සිටියේය. මෙම පෙත්සම පදනම් විරහිත කරුණු මත ගොනු කර ඇති බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන මෙන්ද ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

    පෙත්සම්කරුවන් වෙනුවෙන් නැවත අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය අවිධිමත් සහ නීතිවිරෝධී බවයි. පුරවැසි පනත ප්‍රකාරව යම් පුද්ගලයෙකුට ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමේ බලතල පැවරී තිබෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට බවයි නීතිඥ ප්‍රනාන්දු මහතා කියා සිටියේ. එහෙත් එම නඩුවට පාදක වන ගෝඨාභය රාජපක්ෂ මහතාට පුරවැසි සහතික නිකුත් කර තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් බැවින් එය නීතිය ඉදිරියේ වලංගු ලියැවිල්ලක් නොවන බවයි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

    නමුත් දෙපාර්ශවයේ කරුණු සළකා බැලීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලූ රීට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

    සැප්තැම්බර් 29 ගෝඨාභය රාජපක්‍ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය පිළිබඳ පෙත්සම

    ගෝඨාභය රාජපක්‍ෂ මහතා වලංගු ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන බව පවසමින් සිවිල් ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසින් ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකය තහනම් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කළ බව පසුගිය සැප්තැම්බර් මස 29 වනදා වාර්තා විය. පෙත්සම්කරුවන් කියා සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් ඔහු මෙරට දී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ලබා ගෙන ඇති බවයි. විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට මෙම බලපත්‍ර ඔහු විසින් ලබාගෙන තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ පෙත්සම්කරුවන් එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බවද ප්‍රකාශ කර ඇත. මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටි පෙත්සම්කරුවන් පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා තිබේ.

    සැප්තැම්බර් 30 ගෝඨාභය රාජපක්‍ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය පිළිබඳ පෙත්සම අභියාචනාධිකරණය ඉදිරියේ කැඳවේ.

    ඒ අනුව සැප්තැම්බර් 30 වනදා මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය. මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට නාම යෝජනා පත්‍ර භාර දෙන බවට තොරතුරු වාර්තා ඇති නිසා නාමයෝජනා භාර ගැනීම ලබන 07 වැනිදා සිදු කිරීමට නියමිත හෙයින් මෙම නඩුව හදිසි කටයුත්තක් සේ සලකා විභාගයට ගන්නා ලෙස ඉල්ලා සිටියේය. පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙසයි.

    මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙම නඩුව ද්වේශ සහගත අරමුණකින් ගොනු කර ඇති බවත් එහි සඳහන් චෝදනා පදනම් විරහිත බවත් සඳහන් කළ අතර එය සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ විභාග කරන ලෙස ඉල්ලා සිටියේය.

    එමෙන්ම අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ආගමන සහ විගමන පාලක ආර්.එම්.එස්.කේ.රත්නායක, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් පී. ගුණතිලක, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ එම අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න යන මහත්වරුන්ට මීළඟ දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට ද අධිකරණ නියම කළේය. එමෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් ද අදාළා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. මෙහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ද පෙනී සිටියේය.

    මෙම නඩුවට පාදක වන ලේඛන තිබේනම් ඒවා සැප්තැම්බර් 30 වන දා පස්වරු 2.30 ට අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලෙසද එදින අධිකරණය නියෝග කළේය.

    ඔක්තෝබර් 02 ගෝඨාභය රාජපක්‍ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය පිළිබඳ පෙත්සම සලකා බැලීම ආරම්භ විය.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය සම්බන්ධ පෙත්සම සලකා බැලීම ඔක්තෝබර් 02 දා ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් හමුවේ සිදුකෙරිණ. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු සලකා බැලීම සිදුවිය.

    මෙම නඩුව ඔක්තෝබර් 02 කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි ආගමන හා විගමන පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

    මෙම නඩු විභාගය දැක ගැනීම සඳහා නීතිඥවරුන්ට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් අධිකරණ ශාලාවේ රැස්ව සිටියහ. එහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විවෘත අධිකරණයේ කරුණු දක්වමින් මෙම නඩු කටයුත්ත අධිකරණය සහ නීතිඥවරුන් අතර පවතින ක්‍රියාදාමයක් බව පෙන්වා දුන් අතර අධිකරණයට රැස්ව සිටින බාහිර පාර්ශවයන් අධිකරණයේ ගෞරවය ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කළ යුතු බවද ප්‍රකාශකර සිටියේය.

    (ඔක්02) පළමු දිනයේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී ආගමන හා විගමන පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා කරුණු දැක්වීය. වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය හා සම්බන්ධ අයදුම්පත් හා ලියකියවිලි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපි ගොනුවක් තමන් සතුව නොමැති බව ඔහු ඒ අවස්ථාවේ අධිකරණයට දැනුම් දුන්නේය.

    2007 ට පෙර ආගමන දෙපාර්තමේන්තුව සතුව පැවති ලිපි ගොනු විනාශ කර ඇති බවට දැනගන්නට ලැබෙන බවත්, ඒ ගැන නීතිපතිවරයා කිසිවක් ප්‍රකාශන නොකරන බවත් වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනු⁣වෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වු ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සමට කරුණු දක්වමින් සඳහන් කළේය. තවද එම ලියකියවිලි නොමැතිව මෙම නඩු විභාගය පවත්වාගෙන යාමෙන් තම සේවාදායකයාට දැඩි අගතියක් සිදුවන බවද ඔහු ඒ අවස්ථාවේදී පෙන්වා දුන්නේය.

    ඊට පිළිතුරු කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ එම චෝදනා අසත්‍ය බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු කිසිදු ලිපි ගොනුවක් විනාශ කර නොමැති බවද කියා සිටියේය.

    එසේම මෙහිදී මූලික විරෝධතා මතු කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ මෙම නඩුවට පාදක වන කරුණ සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පරීක්ෂණයක් පැවැත්වෙන බවද සඳහන් කළේය.

    අදාළ පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කර සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එය ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කරන මෙම විරෝධතාව පිළිබඳව ඉදිරියේ දී කරුණු සලකා බලන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඒ අවස්ථාවේදී සඳහන් කළේය. කෙසේ වෙතත් පෙත්සම්කාර පාර්ශවයට කරුණු දැක්වීමට අවස්ථාව ලබා දිය යුතු බව සඳහන් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඒ අනුව පෙත්සම්කරුවන්ට කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය.

    පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර තිබෙන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බවයි. පුරවැසි පනතේ 19 වන වගන්තියට අනුව ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට බලය පැවරෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට පමණක් බව කියා සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට පුරවැසි භාවය පිළිබඳව සහතිකය නිකුත් කර තිබෙන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නොව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බවත් එය නීති විරෝධී ක්‍රියාවක් බවත් පෙන්වා දුන්නේය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සතු බව කියන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බව නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    නමුත් වගඋත්තරකාර ආගමන හා විගමන පාලක සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලය ජනාධිපතිවරයා වෙත පැවරෙන බව සඳහන් කළේය. අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොතිබුණ ද එම බලතල ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා යම් අවස්ථාවක පුරවැසි පනත පිළිබඳ විෂයභාර අමාත්‍යවරයෙකු පත් කර නොතිබුණත් එම අමාත්‍යවරයා සතු බලතල ද ජනාධිපතිවරයා වෙත පැවරෙන බවයි ඔහු සඳහන් කළේය.

    මෙම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය සම්බන්ධ පෙත්සමට අදාළ කරුණු දැක්වීම් පළමු අවසන් කෙරුණු අතර වැඩිදුර කරුණු සලකා බැලීම ඔක්තෝබර් 03ව දින ප.ව. 13.30 තෙක් කල් තැබිණි.

    ඔක්තෝබර් 03 දෙවැනි දිනට ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය පිළිබඳ පෙත්සම සලකා බැලීම ආරම්භ විය.

    දෙවැනි දිනට (ඔක්තෝබර් 03) අදාළ පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අතර එහිදී තුන්වන වගඋත්තරකරු ලෙස නම් කර සිටින රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ චානක ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළේය. ජනාධිපතිවරයාට විධායක බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරි ඇති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය පාලන බලය පැවරී තිබෙන්නේ අමාත්‍ය මණ්ඩලය වෙත බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ජනාධිපතිවරයා අමාත්‍ය මන්ඩලයේ සහ රජයේ ප්‍රධානියා පමණක් බව සඳහන් කර සිටියේය.

    ඒ අනුව රාජ්‍ය පාලනය අමාත්‍ය මණ්ඩලය විසින් මෙහෙයවිය යුතු බවත් ඒ ඒ අමාත්‍යංශවල විෂය පථය එම අමාත්‍යංශය භාර අමාත්‍යවරු විසින් ඉටුකිරීම ව්‍යස්ථාපිත අවශ්‍යතාවක් බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

    ඒ අනුව යම් අමාත්‍යවරයකුගේ විෂය පථයට සම්බන්ධ වන කරුණු ඉටු කිරීමට ජනාධිපතිවරයාට නීතිමය හැකියාවක් නොමැති බවද ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා පෙන්වා දුන්නේය. වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාල අයදුම් පත පවා මේ වන විට නොමැති බව ජනාධිපති නීතිඥ චානක ද සිල්වා වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

    නඩු විභාගය අතරතුර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් සියලුම පාර්ශවයන්ට සම්බන්ධ නීතිඥවරුන්ට දන්වා සිටියේ කරුණු ඉදිරිපත් කිරීමේ දී කාලවේලාව සැලකිල්ලට ගෙන මෙම නඩුවට අදාළ කරුණු පමණක් ඉදිරිපත් කිරීමට කාරුණික වන ලෙසයි.

    ඉන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විධායක බලතල ජනාධිපතිවරයා වෙත පැවරෙන බව සඳහන් කළේය. ජනාධිපතිවරයා යනු ඍජුවම මහජන ඡන්දයෙන් තේරී පත්වෙන අයෙකු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඒ අනුව ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන්නේ මහජනතාව විසින් පවරා දුන් විධායක බලතල බව කියා සිටියේය.

    එක් එක් අමාත්‍යංශ සදහා අමාත්‍යවරු පත්කිරීමේ බලය විධායක ජනාධිපතිවරයා සතු බවත් යම් අමාත්‍යංශයක් සඳහා අමාත්‍යවරයකු පත් නොකරන්නේ නම් එම අමාත්‍යංශය සතු බලතල ඉබේම ජනාධිපතිවරයා වෙත පැවරෙන බව ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දුනි. තවදුරටත් කරුණු දැක් වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය පිරිනැමූ සමයේ පුරවැසිභාවය පිරිනැමීම පිළිබඳ බලතල ආරක්ෂක අමාත්‍යවරයා වෙත පැවරී තිබූ බවද සඳහන් කර සිටියා. ආරක්ෂක අමාත්‍යවරයා සතු බලතල එම අවස්ථාවේදී ජනාධිපතිවරයා වෙත පැවරී තිබුණු බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේය. මෙය සද්භාවයකින් යුතුව ඉදිරිපත් කළ පෙත්සමක් නොවන බව අවධාරණය කර සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එය ප්‍රතික්ෂේප කරන ලෙසයි අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

    ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් පිළිගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද (04) ඒකමතිකව තීරණය කළේය.

     

    Last modified on සිකුරාදා, 04 ඔක්තෝබර් 2019 20:34

    Latest News