අගමැති නිළය දැරිමට එරෙහි පෙත්සමක්

නොවැ 26, 2018

    මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් පත්වීම බලරහිත කිරිමට ගොනු කර ඇති පෙත්සමක් ලබන 30 වනදා කැඳවිමට අභියාචනාධිකරණය අද නියම කළා.

    එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

    එහිදී අදාළ පෙත්සම ලබන 30 වනදා සහ මීළඟ 03 වන දා සලකා බැලීමට පියවර ගන්නා බවයි අභියාචනාධිකරණය නියම කළේ.

    එම දිනටපෙර නඩුවට අදාළ ලේඛන වගඋත්තරකාර පාර්ශ්වය වෙත ලබාදීමට පියවර ගන්නා මෙන් ද විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් වෙත දන්වා සිටියා. පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවත් ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇති බවයි.

    මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වන සංශෝධනය ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවයි පෙත්සම්කරුවන් කියා සිටින්නේ. මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කොට ඔහුගේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන්ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    මෙහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හතළිස් නව දෙනෙකු නම් කර තිබෙනවා.

     

     

    Last modified on සදුදා, 26 නොවැම්බර් 2018 20:36

    Latest News