අපනයන ඉලක්ක ජය ගැනීමට රු: බිලියන 500 අයෝජනයක් - අගමැති රනිල් (වීඩියෝ)

ඔක් 04, 2019

    අපනයනය ඉලක්ක වු ඩිජිටල් ආර්ථිකයක් ඔස්සේ සීග්‍ර සංවර්ධන මාවතකට පිවිසීම සඳහා සාධනීය ප්‍රතිසංස්කරණ පදනම් කරගත් දැවැන්ත පිම්මක් ඉදිරියට පැනිය යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒම සැලසුම් ක්‍රියාත්ම වෙනුවෙන් ඉදිරි වසර 5 තුළ රුපියල් බිලියන 500 ක ආයෝජනයක් කිරිමට රජය කැපවී සිටින බව ඔහු පෙන්වා දුනී.

    දේශීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය සකස් කළ යෝජනා මාලාව පිළිබඳව එහි සාමාජික සාමාජිකාවන් සමග අරලියගහ මන්දිරයේදී පැවති විශේෂ සාකච්ඡාවේදී වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

    2015 වසරේ දැරිය නොහැකි ණය බරක් සහිත ආණ්ඩුවක් බාර ගැනීමට සිදු වුවද, මේ වන විට ඒ ණය බර ලිහිල් කරගනිමින් ආර්ථිකය ප්‍රතිසංස්කරණය කරලීමේ ඉදිරි ගමනකට දේශය යොමු කරලීමේ අභියෝගය රජය ජය ගෙන ඇති බව ඔහු පැවසුවේය. වේගයෙන් ඉදිරියට යෑමෙන් 2030 වසර වන විට ණය බරින් ගැලවීමට හැකියාව උදා කරගත හැකි බවද, නව රැකියා සහ ආදායම් මාර්ග නිර්මාණය කරගත හැකි බවද අග්‍රමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම ඉලක්ක සපුරා ගැනීමට වෙළඳපොළ අපනයනය මුල්කරගත් ආර්ථිකයක් තුලින් බව සියලූ දෙනා එකඟ වූ පොදු මතය විය.

    සුළු ව්‍යාපාරයක සිට මහා පරිමාණ ව්‍යායායපාරයක් දක්වා ආරම්භ කිරීමේ දී මුහුණ දීමට සිදුවන ප්‍රයෝගික ගැටළු හා දුෂ්කරතාවන් සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි. එක් කේන්ද්‍රයක් මගින් සියළු සේවාවන් කඩිනමින් සැපයීමේ ක්‍රමවේදයක අවශ්‍යතාව තදබල ලෙස මතුවී ඇති බව වාණිජ මණ්ඩල නියෝජිතයෝ පෙන්වා දුන්හ. මෙම සාකච්ඡාවේ දී කෘෂිකර්මාන්ත නවීකරණය, මූල්‍ය ක්ෂේත්‍රය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, ප්‍රවාහන හා ප්‍රවාහන සේවා, පරිපාලන ගැටලූ, නියාමන හා නීති රීති, පුද්ගලික සෞඛ්‍ය සේවා, අධ්‍යාපන විෂය කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිණි.

    සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අනෙකුත් මණ්ඩල හා සංවිධාන සමග සාකච්ඡා කොට පොදු එකඟතාවයකට පැමිණීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි. මහනුවර - කොළඹ- හම්බන්තොට අධිවේගී මාර්ගය වටා එළැඹෙන වාණිජ හා වෙළඳ අවකාශයන් පිළිබඳව ද, උතුරු නැගෙනහිර ආර්ථික සංවර්ධන සැලැස්ම පිළිබඳව ද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරුණු ගෙනහැර දැක්වීය.

     

    Last modified on සිකුරාදා, 04 ඔක්තෝබර් 2019 20:38

    Latest News