රාජ්‍ය සේවයේ විරෝධතාකරුවන්ට අමාත්‍ය මණ්ඩලයෙන් සහන

ඔක් 01, 2019

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරින්ට දැනට ගෙවන දීමනාව වෙනුවට රුපියල් 15,000 ක පොදු දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය අද (1) තීරණය කර ඇත.

    ඊට අමතරව යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට රණවිරු මුලික වැටුප විශ්‍රාම වැටුපක් ලෙසින් ගෙවීමට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලය ගුරු සේවයේ සහ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැටුප් විෂමතා විසඳීමට තීරණය කර තිබේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (1) පැවැති කැබිනට් රැස්වීමේ දී මේ සඳහා අනුමැතිය ලැබී තිබේ.

    රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සොයා බැලීම සඳහා පත්කරන ලද ඇමැති අනු කමිටුව ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය සමඟ ද සාකච්ඡා කිරිමෙන් අනතුරුව පරිපාලන සේවා නිලධාරීන්ට දීමනාවක් ගෙවීමට තීරණය කර තිබේ.

    ගුරු සේවයේ සහ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් විෂමතා රනුක්ගේ වැටුප් කමිටුවේ නිර්දේශ අනුව විසදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

    මේ අතර දුම්රිය සේවය සංවෘත සේවයක් කිරීමටද කැබිනට් මණ්ඩලය අද තීරණය කළේය. එ අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වැටුප් වැඩි කිරීමේදී සෙසු අමාත්‍යංශ වල වැටුප් වැඩි කිරීමට අවශ්‍ය නොවනු ඇත. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවද මේ වන විට සංවෘත සේවයක් බවට පත්කර තිබේ.

    Latest News