සජින් වාස්ගේ නඩුව විභාගයට දින නියමවේ

ඔක් 01, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටියදී නීති විරෝධීව රුපියල් කෝටි තිහකට අධික මුදලක් අත්පත් කර ගැනීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  මහතාට එරෙහිව නඩුව ලබන වසරේ පෙබරවාරි 24 සිට 28 තෙක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පෙබරවාරි මස 25,26 ,27 සහ 28 යන දින වල නඩුව විභාගයට ගන්නා ලෙස විනිසුරුවරයා නියම කළේ.

    එදිනට අධිකරණය හමුවේ සාක්ෂි දීම සඳහා පෙනී සිටින ලෙස දන්වා සාක්ෂිකරුවන් පස් දෙනෙකුටද අධිකරණය විසින් සිතාසි නිකුත් කිරීමට නියෝග කළේය. පැමිණිල්ල විසින් විත්තිය වෙත ලබාදිය යුතු ලේඛන නිසිපරිදි භාරදී තිබේ ද යන්න පරික්ෂා කිරීම සඳහා නඩුව නැවත නොවැම්බර් මස 01 වනදා යළි කැඳවීමට නියම කෙරිණ.

    2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදෙන අවස්ථාවේ විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතාට "කොස්මෝස්" යන නාමය යටතේ ව්‍යාපාර සමූහයක් පැවැති අතර ඊට ව්‍යාපාර විසි එකක් ඇතුළත්ව තිබූ බවද විමර්ශන වලදී හෙළිවී තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමෙන් පසුව එම ව්‍යාපාර සියල්ලේම අධ්‍යක්ෂ ධූරවලින් ඉවත් වූ විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතා එහි කොටස් ඔහුගේ බිරිඳ වෙත පැවරූ බව ප්‍රකාශ කළද ඔහු එම ව්‍යාපාර කටයුතු සක්‍රීයව පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද සඳහන් වේ.

    මෙම ව්‍යාපාර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් රුපියල් 306,268,194/- ක මුදලක් අයථා ලෙස අත්පත් කරගෙන තිබෙන බවත් ඒ තුළින් ඔහු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බව ද නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධි චෝදනා පත්‍රයේ සඳහන් වෙයි.

    Last modified on අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2019 13:25

    Latest News