ලක්විජය විදුලි ජනන තාවකාලිකව නවතී

ඔක් 01, 2019

    පුත්තලම ලක්විජය ගල් අගුරු විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ අනිවාර්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එහි විදුලි ජනන කටයුතු තාවකාලිකව නවතා තැබීමට සැලසුම් කර ඇතැයි, විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

    මෙම විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සැලසුම් කර ඇතැයි, පළවන වාර්තාවල කිසිඳු සත්‍යයක් නොමැති බවයි, අමාත්‍යාංශය අවධාරණය කරන්නේ. ලක්විජය බලාගාරයේ සම්පූර්ණ ධාරිතාවය, මෙගාවොට් 900ක්. මෙගාවොට් 300 බැගින් වූ ජනන යන්ත්‍ර තුනකින් මෙම විදුලිය ජනනය කෙරේ. මේවායේ නඩත්තු කටයුතු සිදු කෙරෙන්නේ, එහි මෙහෙයුම් කාලය පදනම් කර ගෙනයි. පළමු ජනන යන්ත්‍රයේ ඒ මට්ටමේ නඩත්තුව, 2016 පෙබරවාරී මාසයේ දී සිදුකළේය. එහි බී මට්ටමේ නඩත්තු කටයුතු ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සඳහා දින 75ක පමණ කාලයක් ගත වන බවයි, අමාත්‍යාංශය පවසන්නේ.

    ඒ අනූව 2019 වසරේ ඔක්තෝබර් මස මැද භාගයේ දී පළමු ජනන යන්ත්‍රය, විදුලි උත්පාදනයෙන් ඉවත් කිරීමට සිදු වෙයි. එහි නඩත්තු කටයුතු අවසන් වූ පසු යළි එය, සාමාන්‍ය පරිදි විදුලි ජනන කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතයි. දිවයින තුළ ඇති වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන්, ජලවිදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතු උපරිමයෙන් සිදු කෙරේ. එබැවින්, ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු සිදු කිරීමට සැලසුම් කළ බවයි, අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණ කරන්නේ.

    Last modified on අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2019 11:53

    Latest News