ආබාධිත සෙබලුන්ට දිවි ඇති තෙක් වැටුප් පිරිනැමීමට රජයේ තීරණයක්

සැප් 24, 2019

    සියලු ආබාධිත රණවිරුවන් හට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට රජය තීරණය කරයි.

    මේ අනුව ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයින්ට විශ්‍රාම ගිය පසුව ඔවුන් අවසන් වරට ලැබූ වැටුපට සමාන විශ්‍රාම වැටුපක් දිවි ඇති තෙක් පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

    අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි ආබාධිත රණවිරුවන් ජීවත්ව සිටින තෙක් මෙම ගෙවීම අඛණ්ඩව සිදුවේ. ඒ අනුව ආබාධිත රණවිරුවකු විශ්‍රාම ගිය පසුව මෙතෙක් ගෙවන ලද විශ්‍රාම වැටුප හා අනෙකුත් දීමනා වෙනුවට ඔහු විශ්‍රාම යන අවස්ථාවේ දී ලැබූ මූලික වැටුප හා සියලු දීමනා ඇතුළත් මාසික වැටුප සියලු ආබාධිත රණවිරුවන් පිරිනැමේ.

    මේ අනුව ආබාධිත තත්ත්වයට පත්වූ යුධ හමුදා මේජර්වරයකුගේ මූලික වැටුප හා දීමනා රු. 97,205/= වේ. ඊට අමතරව සේවා විශ්‍රාම වැටුප වශයෙන් රු 10,000ක් ද, දුබලතා විශ්‍රාම වැටුප වශයෙන් 4,000ක් ද ඇතුළුව ආබාධිත මේජර්වරයකුගේ මාසික වැටුප වූයේ රු. 111,483කි. ඔහු ආබාධිත සෙබළකු වශයෙන් වයස අවුරුදු 55 දී විශ්‍රාම ගැන්වූ පසු ඔහුට මෙතෙක් ලැබුණේ රු 81,000ක විශ්‍රාම වැටුපකි. ඒ අනුව අද දින සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම ගැන්වූ එම හමුදා නිලධාරීවරයාට ඔහු විශ්‍රම ගැන්වීමට පෙර ලබා ගත් රුපියල් 111,483 මුදල ඔහුට දිවි ඇති තෙක් විශ්‍රාම වැටුප වශයෙන් ලැබෙනු ඇත.

    ආබාධිත සෙබළුන්ගේ නියෝජිත පිරිසක් මාස කිහිපයකට පෙර මාතර දී මුදල් අමාත්‍යවරයා හමු වී ඔවුන්ගේ දුෂ්කරතාවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කළහ. ඒ අනුව මුදල් අමාත්‍යවරයා වශයෙන්, රට වෙනුවෙන් ඔවුන් කරන ලද කැපකිරීම අගයනුවස් ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ට ජීවිත කාලය දක්වා අවසන් වරට ලැබූ වැටුපට සමාන මුදල ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දෙන ලදී. ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසුව මෙම සහන වීරෝධාර සෙබළුන් වෙනුවෙන් ලබා දීමට මෙම රජයට හැකිවීම සතුටට කරුණක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    උතුරු නැගෙනහිර ගැටුම් අවසානයෙන් පසුව එදා පැවැති රජය වීරෝධාර සෙබළු ඇතුළු ආරක්ෂක අංශ විකුණාගෙන දේශපාලනය කරන යුගයක් පැවැතියේ ය. ඔවුන් දැන් විපක්ෂයේ සිටිය දී පවා කරනුයේ පටු දේශපාලන වාසි තකා යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන්ගේ දුක හා කඳුළු මත බලයට පැමිණීමට උත්සහ කිරීම පමණක් බව ඔහු කියා සිටි.

    පසුගිය රජයේ පාලකයන් එම සෙබළුන්ගේ සුබ සාධනය සඳහා සැලකිය යුතු කිසිවක් ලබා දුන්නේ නැත. එහෙත් මෙම රජය බලයට පත් වීමෙන් පසුව පොලීසිය හා ආරක්ෂක හමුදාවේ සියලු සාමාජිකයන්හට පසුගිය වසර 20ක් තිස්සේ නොදුන් සහන අයවැය හරහා ලබා දීමට මුදල් අමාත්‍යංශයට හැකි විය.

    ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට ගෙවනු ලබන දීමනා ඉහළ නැංවීම ක්‍රියාත්මක කළේ ය. එම නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව ඉකුත් ජනවාරියේ සිට ඉහළ නැංවීමට රජය පියවර ගත්තේය. ඒ අනුව නිලධාරීන්ගේ සලාක දීමනාව රුපියල් 23,231 දක්වා ද, සෙසු නිලයන්ගේ සලාක දීමනාව රුපියල් 19,350 දක්වා ද මේ වන විටත් ඉහළ නංවා ඇත. ඊට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාව ද දෙගුණ කළේ ය.

    එසේම යුධ, නාවික හා ගුවන් හමුදා සේවයේ රුපියල් 1000ක කමාන්ඩෝ දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නංවා ඇත. තව ද අවුරුදු 20ක් පොලීසියේ නිලධාරීන්ට අහිමිව තිබූ උසස්වීම් ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලද අතර 31,000කට අධික පොලිස් කොස්තාපල් සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන්හට උසස්වීම් ක්‍රියාත්මකවීම පසුගිය සතියේ දී ඇරැඹීය.

    ආබාධිත රණවිරුවන් හට දිවි ඇති තෙක් මෙම වැටුප් ගෙවීම ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන සංග්‍රාහය සහ අදාළ චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නුදුරේදීම සංශෝධනය කරනු ඇත.

    Latest News