විරුවන් වෙනුවෙන් උණුවූ හඳවත්..

මාර් 03, 2019

    අනුරාධපුර යුද හමුදා අභිමංසලේ ප්‍රතිකාර ලබන ආබාධිත යුද හමුදා සෙබළුන් සතුටු කිරීම සඳහා කණ්ඩලම හෝටලය සහ කණ්ඩලම හෝටල් සුභසාධක සංගමය එක්ව අනුරාධපුර අභිමංසල ආයතනයේ ප්‍රතිකාර ලබන සියලුම රණවිරුවන් සංචාරක හෝටලයට ගෙන්වා ආහාර පාන ලබාදී ඔවුන්ව සතුටු කිරීම ඊයේ (02) දවස පුරා කන්ඩලම හෝටලයේ දී සිදුකෙරිණි.

    කණ්ඩලම හෝටලයේ සාමාන්‍යාධිකාරී ප්‍රියාන් විජේරත්න මහතාගේ යෝජනාවක් අනුව වාර්ෂිකව මෙම ආබාධිත යුධ හමුදා සෙබළුන් ඇගයීමට ලක් කිරීම සිදු කෙරේ. අනුරාධපුරයේ සිට බස් රථවලින් පැමිණි ආබාධිත සෙබළුන් ඉතා ගෞරවාන්විතව පිළිගනිමින් හෝටල් සේවකයෝ ඔවුහු සිය හෝටලය වෙත රැගෙන යන්නට වූහ.

    තරු පන්ති පහ හෝටලයක සංචාරකයෙකුට ලැබෙන සියලුම පුද සත්කාර නොපිරිහෙළා මෙම ආබාධිත රණවිරුවන්ට ලබාදීමට එහි සේවකයෝ සූදානම් කර තිබිණි.
    රෝද පුටුවලින් සහ දෙපාවාරුවලින්, අත්වාරුවලින්, පැමිණි ඔවුහු හරසරින් පිළිගැනිණ. ප්‍රණීත ආහාර පානවලින් සංග්‍රහ කිරීම මෙන්ම ඔවුන්ගේ දක්ෂතා ඇගයීමට ලක්කරමින් ගීත ගායනා කරමින් ඔවුන්ට හැකි ආකාරයේ නර්තනයේ යෙදී සතුටු කිරීම සංචාරක කන්ඩලම හෝටලයේ සෑම ස්ථානයක් ම ඔවුන් හට පෙන්වීම මෙහිදී සිදු කෙරිණි.
    එමෙන්ම සංචාරක හෝටලයේ සේවයේ නියුතු සේවක සුබසාධක සංගමයේ සේවක-සේවිකාවෝ මෙම රණවිරුවන්ට ප්‍රණීත ආහාරපාන සංග්‍රහ කරන ආකාරය ද දැක ගැනීමට හැකියාව ලැබිණි. මෙම අවස්ථාවට එක්වූ යුද හමුදා ආබාධිත සෙබළුන් බොහෝ දෙනෙකු කියා සිටියේ මෙවැනි අවස්ථා මේ වන විට ඉතා අඩුවෙන් පැවැත්වෙන බවය. තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කොට තමන් ආබාධිතව සිටිය ද සමාජයේ බොහෝ දෙනෙකුට එය අමතක වී ඇතැයි ආබාධිත සෙබළුන් ප්‍රකාශ කරන්නට වූහ.

    අනුරාධපුර අභිමංසල සේනාවිධායක කරනල් නිස්සංක හේරත් මහතා කියා සිටියේ තම සෙබලුන් හට කිහිප දෙනෙකු හැරෙන්නට බොහෝ දෙනෙකුගේ ආශිර්වාදය තවමත් හිමිවන බවය. එමෙන් තරු පන්ති පහක් හෝටලයකට ගෙනවිත් තම සෙබළුන්ට පුද සත්කාර කිරීම තමා කන්ඩලම හෝටලය ද ස්තුතිවන්ත වන බව සඳහන් කළේය.

    කණ්ඩලම හෝටලය සේවකයන් කියා සිටියේ වාර්ෂිකව සංවිධානය කරන මෙම උත්සවය රණවිරුවන් වෙනුවෙන්ම සිදුකරන ලද්දක් බවය. යුද්ධය පැවති සමයේ සිටම රණවිරුවන් අගය කිරීම කණ්ඩලම හෝටලය කළමනාකාරීත්වය සහ සේවක සුභසාධක සමිතිය කළ බව ඔවුහු පැවසූහ.

    Last modified on ඉරිදා, 03 මාර්තු 2019 11:53

    Latest News