දිස්ත්‍රික්ක 5කට නාය අනතුරු ඇඟවීම්..පවුල් 1475ක් පීඩාවට (වීඩියෝ)

සැප් 24, 2019

    වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක් සඳහා නායයෑම් පිළිබද පුර්ව අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

    කළුතර, කැගල්ල, ගාල්ල, රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙයි. කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් දැඩි නායයෑමේ අවදානමකට ලක්ව ඇති බැවින් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස ජාතික ගොඩනැඟිලි පාර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.

    මේ අතර ගංගා කිහිපයක ජල මට්ටම ද මේ වන විට ඉහළ ගොස් තිබේ. නිල්වලා, ගිං සහ කළු යන ගංගා ආශ්‍රිත පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. නිල්වලා ගගේ පානදුගම ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම මහ ගංවතුර මට්ටම ඉක්මවා ඇති අතර ගිය ගගේ බද්දේගම සහ තවලම ජල මිණුම් ස්ථානවල ජල මට්ටම සුළු ගංවතුර මට්ටම ඉක්මවා තිබේ. කළු ගගේ මිල්ලකන්ද ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමක් දක්වා පැමිණ ඇති බවයි වාර්තා වෙයි.

    මේ හේතුවෙන් මාතර කඩවත් සතර, තිහගොඩ, මාලිමබඩ, කඹුරුපිටිය, අතුරලිය, අකුරැස්ස, දෙවිනුවර, කිරින්ද පුහුල්වැල්ල, පස්ගොඩ පිටබැද්දර, වැලිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ජල ගැලීම් හටගෙන තිබේ.

    කළුතර දිස්ත්‍රික්කයට ඇඳ හැලෙන වර්ෂාවත් සමග කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබේ. කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, ගංවතුර තත්වයක් ඇති නොවන බවයි. කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුව විවෘත කර ඇත්තේ, තත්පරයට ඝන මීටර 20ක් ලෙස පිටවන ආකාරයෙන්. මේ අතර ඊයේ රාත්‍රී අලුත්ගම,මොරගොල්ල,කළුවාමෝදර ප්‍රදේශවලට අධික වැසි ලැබීමෙන් එහි අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

    ඊට අමතරව ගාල්ල, බද්දේගම, බෝපේ පෝද්දල, වැලිවිටිය දිවිතුර, නාගොඩ, නියාගම, තවලම, නෙලුව, අක්මීමන, යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ද ජල ගැලීම් තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බුලත්සිංහල, හොරණ, ඉංගිරිය, කළුතර, මදුරාවල, මිල්ලනිය, පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ද සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙයි. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක පවුල් 1475කට අයත් පුද්ගලයින් 5539ක් මේ වන වට පීඩාවට පත්ව තිබේ.

    ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල පවුල් මෙලෙස පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. මේ වන විට එක් පුද්ගල මරණයක් වාර්තා වන අතර නිවාස 12කට පූර්ණ හානී සහ නිවාස 152කට අර්ධ හානී සිදුව තිබේ.

     

    Last modified on අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 14:47

    Latest News