පොලිසියේ දෙදෙනෙකුට මරණ තර්ජන කළ කන්ජිපානි ඉම්රාන් 20 තෙක් රිමාන්ඩ්

සැප් 17, 2019

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කන්ජිපානි ඉම්රාන් ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරයි.

    විදේශයක සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල කළේ යැයි දැනට සිරදඬුවම් නියම වී සිටින කන්ජිපානි ඉම්රාන් නමැත්තාට චෝදනා එල්ල වී ඇත.

    මෙම සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අද(17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නියෝගය සිදු කර තිබේ.

    ඒ අවස්ථාවේ පොලිසිය කළ ඉල්ලීම පිළිගත් අධිකරණය සැකකාර කංජිපානි ඉම්රාන් නමැත්තා කටහඬ පරීක්ෂණයක් සඳහා ලබන 19 වනදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියම කළේය. අනතුරුව සැකකාර කංජිපානි ඉම්රාන් ලබන 20 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

    පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාවකට අනුව කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් විසින් කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ සගයකු බව කියන කේමදාසන් තුෂාන්තන් හෙවත් සුසන්ත නමැති හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 20 කට අධික සංඛ්‍යාවක් සමග පසුගිය කාලයේ අත්අඩංගුට ගෙන තිබූ බව ප්‍රකාශ කර තිබේ.

    එම අවස්ථාවේ විදේශගතව සිටි කංජිපානි ඉම්රාන් දුරකථන මාර්ගයෙන් එම වැටලීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජන එල්ල කොට අසභ්‍ය වචනවලින් බැන වැදී මරණීය තර්ජන කර ඇතැයි ද ප්‍රකාශ කළ කෙසෙල්වත්ත පොලීසිය මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස කංජිපානි ඉම්රාන් නම් කර ඇත.

    Latest News