මුදල් බලෙන් ගැනීමට තැත් කිරීමකට අදාළ ප්‍රසන්නගේ නඩුව නොවැම්බර් 25

සැප් 17, 2019

    ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් බලහත්කාරී ලෙස ලබා ගැනීමට තැත් කළේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරීන් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

    නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෙම නඩුව විභාග කිරීම නොවැම්බර් මස 25 වන දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය අද නියම කර ඇත.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබිණි. එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා වෙනත් නඩු විභාගයක් සඳහා පෙනී සිටින හෙයින් මෙම නඩු විභාගය කල් දමන මෙන් ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය නොවැම්බර් මස 25 වනදා දක්වා කල් තැබීමට තීන්දු කර ඇත.

    බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කිරීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

    Latest News