වැසි සහිත කාළගුණය ඉදිරියටත්

සැප් 16, 2019

    දිවයින ආශ්‍රිතව පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේත් පවතිනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවල මිලිමීටර 100 සිට 150 දක්වා තද වැසි අපේක්‍ෂා කළ හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි තද වැසි අපේක්‍ෂා කෙරේ.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද දහවල් ඉදිරි පැය 24ක් දක්වා නාය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, කලවාන, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ හා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, දොඩම්ගොඩ හා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නිකුත් කර ඇත්තේ අනතුරු ඇඟවීම් කහ නිවේදනයයි. අදියර 02 සඳහා වූ නිවේදනය රත්නපුර දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත්, කලුතර දිස්ත්‍රික්කයේ මතුගම, අගලවත්ත, බදුරලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත් නිකුත් කර තිබේ. රතු නිවේදනය නිකුත් කෙරුණේ, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහායි.

    අත්තනගලු ඔයේ ජල මට්ටම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. අද පස්වරුව වනවිට එහි ජල මට්ටම සුළු ගංවතුර තත්වයක් දක්වා වර්ධනය වී තිබිණ. එබැවින් ඔය දෙපස පහත් බිම්වල වාසය කරන ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරිමත් සමඟ බුලත්සිංහල, පරතොට ප්‍රදේශයේ පහත්බිම් ඇතුළු මාර්ග ජලයෙන් යටවිය. මේ නිසා ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇති බව අප වාර්තාකරු පවසයි. බුලත්සිංහල, මෝල්කාව, ප්‍රධාන මාර්ගයේ ස්ථාන දෙකක් ජලයෙන් යටවීමෙන් ගමනා ගමනයට සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. වර්ෂාව අඛණ්ඩව පැවතියහොත් ජල ගැලීම් තත්වය තවත් වර්ධනය විය හැකි බව වාර්තාවේ.

    වර්ෂාව තවදුරටත් පැවතියහොත් ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි. ඊයේ උදෑසන සිට මේ දක්වා රත්නපුර ප්‍රදේශයට අඛණ්ඩ වර්ෂාපතනයක් ලැබෙන බව අප වාර්තාකරු පවසයි. මේ වනවිට කළුගඟේ ජල මට්ටම මීටර් 6 සීමාවට ළඟාවී තිබේ.

    නාය අවදානමක් හේතුවෙන් සොරණාතොට, නාගොල්ලාගම පවුල් 23ක පුද්ගලයන් 88 දෙනෙකු ඉවත් කෙරිණ. ගම්මානයේ නිවසකට අද අළුයම ගලක් කඩා වැටීමෙන් ඊට බරපතල හානි සිදුවිය. එම ගම්මානය නාය අවදානම් ප්‍රදේශයක පිහිටා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හඳුනාගෙන ඇත.

    කැළණි ගඟේ ජල මට්ටම වර්ධනය වෙමින් පවතින බැවින් ගඟ දෙපස පහත්බිම්වල වාසය කරන ජනතාවට ගංවතුර තත්වය පිලිබඳ අවදානයෙන් පසුවන්නැයි, වාර්මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. නාගලගම්වීදිය ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම විමසිලිමත්විය යුතු මට්ටමට ළඟාවෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 20:41

    Latest News