නෙළුම් කුලුන ජනපති අතින් ජන අයිතියට

සැප් 16, 2019

    දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුලුන අද (16) නිල වශයෙන් විවෘත කෙරිණ.

    ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. නෙළුම් කුලුණ විවෘත කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධාන කර තිබිණි. උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපතිතුමා, සමරු ඵලකය නිරාවරණය කර කුලුන විවෘත කිරීමට එක්විය. ලොව උසින් 18 වන ස්ථානය හිමි නෙළුම් කුලුන අඩි 1,168ක උසින් සහ වර්ග අඩි 30,600කින් සමන්විතවේ. ඇතුල්වීමේ දොරටු 4කින් යුත් එහි වර්ග අඩි ලක්‍ෂයක් වන පහත මාලය, වෙළෙඳ කටයුතු සඳහා භාවිත කිරීමට සැලසුම් කර ඇත. මහල් 5ක් සහිත එය කෞතුකාගාරයෙක්, වෙළෙඳ කුටි, අමුත්තන් සඳහා මැදිරි, පරිපාලන කාර්යාල, ජල තටාක, මුළුතැන් ගෙයක් සහ විදුලි උත්පාදන යන්ත්‍රවලින් සමන්විතයි. කුළුනේ විදුලි සෝපාන 8ක් පවතී. ඉන් 3ක් තත්පරයට මීටර් 7ක වේගයකින් ගමන් කර අතර, ඒවා ලංකාවේ වැඩිම වේගයකින් ගමන් කරන සෝපාන ලෙසයි වාර්තා වන්නේ.

    නෙළුම් කුලුනේ ඉහළ කොටසේ පළමු මහල් දෙක, රූපවාහිනී සහ ගුවන් විදුලි පාලක මැදිරි ඉදිකිරීම සඳහා භාවිත කරයි. ඊට ඉහළ මහලෙහි, 350කට සහභාගිවිය හැකි ශාලා 2ක් ඉදිකර තිබේ. පස්වන මහල 250කට පමණ පහසුකම් සැපයෙන කැරකෙන අවන්හලකින් සමන්විතවේ. නවීන පහසුකම් සහිත සුඛෝපභෝගි කාමර 6ක් ද පවතී. ඊට ඉහළින් ඇත්තේ, නැරඹුම් ප්‍රදේශයයි. සියලුම සන්නිවේදන උපකරණ සවිකිරීමට හැකිවන අයුරින් කුලුන ඉදිකර තිබීම විශේෂත්වයක්. ව්‍යාපෘතියට වැය කෙරුණු මුදල, අමෙරිකානු ඩොලර් මිලියන 104ක්. නෙළුම් කුලුන විවෘත කිරීම වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කෙරිණ. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්.මොහොමඩ් මහත්මිය එය ජනාධිපතිතුමාට පිළිගැන්වූවාය.

    නෙළුම් කුලුනේ තොරතුරු ඇතුලත් www.lotustower.lk වෙබ් අඩවිය විවෘත කෙරුණේද ජනාධිපතිතමා අතින්.නෙළුම් කුලුන ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාට, සමරු තිළිණයක් ද පිරිනැමීය. චීන තානාපතිවරයා ද ජනාධිපතිතුමාට සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණ. කතානායක කරූ ජයසුරිය මහතා ඇතුලු ජනතා නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, විදේශීය නියෝජිතයන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. කුලුන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපතිතුමා...

    “ගොඩනැගිලි තාක්ෂණයේ නව පිම්මක් වගේම මෙම කුලුන සන්නිවේදන තාක්ෂණයේ නව පිම්මක් ද වනවා. ලෝකයේ තාක්ෂණය නව යුගයක් උදාකරන අතර, කොළඹ ඉදිවූ මෙම නව කුලුන ඔබෙත්, මගේත් රටේ නව යුගයක් උදා කරනවා. සංචාරක කර්මාන්තය ගත්තම මෙම කුලුන දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද වැදගත් සන්ධිස්ථානයක් වනවා. දේශීය හා විදේශීය සංචාරකයින්ට නෙළුම් කුලුන විශිෂ්ට ස්ථානයක් බවට පත්කරන එක සම්බන්ධයෙන් කිසිදු සැකයක් නැහැ.

    මෙම නෙළුම් කුලුනේ ඉදිකිරීම් සම්පුර්ණ මෙන්ම අවසන්ව නැහැ. නමුත්, අප එය විවෘත කළේ දැනට අවසන් කර ඇති කොටස තුළ එය විවෘත කර පවත්වාගෙන යාමේ හැකියාව ඇති නිසයි. ඉතිරි ඉදිකිරීම් අවසන් කිරිමට අපට සෑහෙන කාලසීමාවක් අවශ්‍ය වන අතර, තවත් විශාල මුදල් ප්‍රමාණයක් ද අවශ්‍ය වනවා. මෙම තත්වයට මෙම ගොඩනැගිල්ල ගෙන ඒමට වසර 7ක පමණ කාලයක් ගතවුණා. ඒක නිසා මේක අපට ලැබුණු සම්පතක්. අපි එය ආරක්ෂා කරගත යුතු වනවා. අපි මෙය විධිමත්ව නඩත්තු කරන්න අවශ්‍යයි. ඒක නිසා අපි අමාත්‍ය මණ්ඩලය සාකච්ජා කරලා තීරණයක් ගත්තා  මෙය රාජ්‍ය සමාගමක් ලෙස පාලනය කිරීමට. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තියෙනවා ඒ අනුව අපි අධ්‍යක්‍ෂ මණ්ඩලයකුත් ඉදිරි සතිය තුළදී පත්කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව රාජ්‍ය සමාගමක් බිහිකිරිමත් අපි සිදු කරනවා“ යැයි ජනාධිපතිතුමා පැවසීය.

    Latest News