ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය දුරකථන සංවාදයක්

නොවැ 23, 2018

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂීයා ස්කොට්ලන්ඞ්ට් සාමිවරිය අද (23) විශේෂ දුරකථන සංවාදයකට එක් විය.

    එහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය භාවිතයේ යෙදවීම සඳහා තමා නිරන්තරයෙන් පෙනී සිටින බවත්, එසේම සෑම විටම තමා කටයුතු කරන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවත් ය.

    මෙම දුරකථන සංවාදයේ දී ජනාධිපතිතුමා වැඩිදුරටත් පැහැදිළි කළේ තමා කථානායකවරයාගෙන් ඉතාමත් පැහැදිලිව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ සම්මුතිවලට අනුව ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටි බවයි. එමෙන් ම ආණ්ඩුවේ පැවැත්ම තීරණය කිරීම වැනි ඉතා වැදගත් කාරණාවලට අදාළව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ දී මන්ත්‍රීවරුන්ගේ හඬ අනුව නොව, ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක‍්‍රමය හෝ නමින් ඡන්ද විමසීම යන ආකාරවලින් තෝරාගත් විධිමත් ක‍්‍රමයක් භාවිතා කරන ලෙස තමා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ ය.

    පොදුරාජ්‍ය මණ්ඩලයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වශයෙනුත්, ආසියාවේ පැරණිතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වශයෙනුත්, ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිගැනීම පිළිබඳව සතුටු වන බව මහලේක්ම්වරිය මෙහිදී සඳහන් කළාය.

    පොදුරාජ්‍ය මණ්ඩලය ශ‍්‍රී ලංකාව සමඟ ඉදිරියේදී ද අඛණ්ඩව ඉතාමත් සමීපව සහ සහයෝගයෙන් කටයුතු කරන බව ද පැට්‍රීෂීයා ස්කොට්ලන්ඞ්ට් සාමිවරිය මෙහිදී ජනාධිපතිතුමා වෙත සහතික වූවාය.
    එමෙන්ම මහ ලේකම්වරිය ඉතාමත් විශ්වාසයෙන් සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන අර්බුදය සාමකාමීව විසඳගනු ඇති බවයි.

    Latest News