පැරණිතම සහ විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය ජන අයිතියට

සැප් 13, 2019

    ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු පැරණිතම සහ විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය වන අනුරාධපුර පුුරාවිද්‍යා කෞතුකාගාරය සංරක්ෂණය කිරීමෙන් අනතුරුව මහජනතාව වෙත විවෘත කිරීම අද (12) සිදුවිය.

    මේ සඳහා ඇමරිකානු තානාපති අරමුදල යටතේ ඇමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස් දහසක මුදලක් වැයවී ඇති අතර මීට අමතරව මධ්‍යම සංස්කෘතික අරමුදල සහ මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදල මගින්ද ආධාර මුදල් සපයා තිබේ.

    1960 ජූලි 07 දා අනුරාධපුර කෞතුකාගාරය මෙම ස්ථානයේ ආරම්භ කර ඇති අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වරින් වර මෙම ස්ථානය සංරක්ෂණය කිරීමේ කටයුතු වලට භාජනය කොට තිබේ.

    එම කටයුතුවල ඉදිරි දිගුවක් ලෙස 2015 වර්ෂයේදී පුුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්, ඇමරිකානු තානාපති කාර්යාලයේ, "ඇමරිකානු තානාපති අරමුදල"ට යෝජනාවක් ලෙස මෙම කෞතුකාගාරය නවීකරණය කිරීම යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඊට ලැබුණු ප්‍රතිචාරයක් ලෙසින් මෙම ඇමෙරිකානු ඩොලර් 150000 මුදල පිරිනමා තිබේ.

    මෙය නවීකරණය සඳහා CECB ආයතනය සහ ශ්‍රී ලංකා යුද හමුදාව දායකත්වය ලබා දී තිබේ.

    ලබන වසර වන විට 60 වන සංවත්සර සපුරන මෙම අනුරාධපුර කෞතුකාගාරයේ, මේ වන විට වටිනා පුරාවස්තූන් හයසියයකට (600) අධික ප්රමාණයක් මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කොට තිබේ.

    රුවන්වැලි චෛත්‍යාමධිකරී පුජ්‍ය පණ්ඩිත පල්ලේගම හේමරතන නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සහ අන්යාගමික නායකයින්, ශ්‍රී ලංකාව සහ මාලදිවයින පිළිබඳ ඇමෙරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල, හිටපු පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    Last modified on සිකුරාදා, 13 සැප්තැම්බර් 2019 10:02

    Latest News