මැදමූලන කෞතුකාගාර නඩුව ඉදිරිපත් කිරිම දෝෂ සහගතයි: ජනාධිපති නීතිඥ අලි සබ්රි

සැප් 09, 2019

    ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමට රජයේ මුදල් සාවද්‍ය පරිහරණ චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුවේ චෝදනාව ඉදිරිපත් කිරිම වැරදි සහගත සහ අපහැදිලි බව විත්තියේ නීතිඥ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    මෙම නඩුවේ චෝදනා ගොනු කිරිම නීතිවිරෝධී හෙයින් එම නඩුව ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ විශේෂ අභියාචනා පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද සලකා බැලුනා. එහිදි කරුණු තහවුරු කිරිමේ අවස්ථාවේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතිඥවරයා මේ බව අනාවරණය කර සිටියා.

    බැලීම සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීම සිදුවේ.

    එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අවධාරණය කර සිටියේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කරන තිබෙන චෝදනා පත්‍රය තුළ කුමන්ත්‍රණ චෝදනා දෙකක් ඇතුලත් කර තිබෙන බවත් එකම අවස්ථාවක විත්තිකරුවන්ට කුමන්ත්‍රණ චෝදනා දෙකක් එල්ල කිරීමට හැකියාවක් නොමැති බවයි.

    මෙය බරපතල වරදක් ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුනි. මෙම වරද පිළිබඳව විත්තිකාර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ මූලික විරෝධතාවක් මතු කළත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම විරෝධතාව ප්‍රතික්ෂේප කළ බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම නඩුවට අදාළ විමර්ශනය සිදුකළ බව ඔහු වැඩිදුරටත් පෙන්වාදුනී. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ස්ථාපිත කර තිබෙන ආකාරය මුළුමනින්ම නීති විරෝධී යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම කොට්ඨාසය ස්ථාපිත කර තිබෙන්නේ පොලිස්පතිවරයා විසින් බව සඳහන් කළේය.

    පොලිස්පතිවරයාට පොලිස් කොට්ඨාසයක් ස්ථාපිත කිරීමට බලයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එවැන්නක් කිරීමට බලය තිබෙන්නේ ආරක්ෂක විෂයභාර අමාත්‍යවරයාට පමණක් බවයි කියා සිටියේ.

    පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පොලිස්පතිවරයා විසින් ස්ථාපිත කර තිබීම හේතුවෙන් එය බලරහිත නීතිවිරෝධී ආයතනයක් හෙයින් එම ආයතනය විසින් සිදුකළ මෙම නඩුවට අදාළ පරීක්ෂණයද නීති විරෝධී බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

    එම නීතිවිරෝධී පරීක්ෂණය පදනම් කරගෙන මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධිචෝදනා පත්‍රය ද නීතිවිරෝධී හෙයින් එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළ යුතු බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ.

    අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 11 වන දිනට කල් තැබිණ.

     

     

     

    Latest News