උතුරු පළාතේ කර්මාන්ත පුරයක් නිර්මාණය කරනවා; අමාත්‍ය සජිත්

සැප් 09, 2019

    රට පුරා කර්මාන්ත පුබුදුවක් ඇති කරන බව, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    එමගින් ග්‍රාමීය ජන ජිවිතය උසස් මට්ටමකට පත්කර ගත හැකියි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ යාපනය, වලිකාමම් නැගෙනහිර ඌරෙලු ප්‍රදේශයේ “පොක්කනෛ ග්‍රාමම්“ උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද සහභාගි වෙමින්.

    “සැමට සෙවණ යළි පිබිදෙන“ උදා ගම්මාන වැඩසටහන යටතේ, ජනතා අයිතියට පැවරුණු 274 වැනි ආදර්ශ ගම්මානය මෙයයි. එහි නිවාස සංඛ්‍යාව 19ක්. වැය කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 173ක්. උත්සවයට සමගාමීව සමාජ සුබසාධන වැඩසටහන් ගණනාවක් ද සිදු විය. අමාත්‍යවරයා ප්‍රදේශයේ තරුණයින් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ ද නිරතවිය. එහිදි අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා...

    “දළ දේශීය නිෂ්පාදිතය ගණන් හදන කොට උතුරු පළාතෙන් තමයි අඩුම දායකත්වය ලැබුණේ. 5%ක් වගේ දායකත්වයක් තමයි මහ බැංකු වාර්තාවලට අනුව උතුරු පළාතෙන් ලැබුණේ. රටක් ඇතුළත මේ වගේ අසමබරතාවයක් තිබීම ඉතාමත්ම දුර්වල කාර්යයක්. ඒ නිසා මම හැම වෙලාවෙම හිතන්නේ කොහොමද උතුරු පළාතේ දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වය වැඩි කරන්නේ. “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා“ වැඩසටහන ඇතුළුව ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා උතුරු පළාතේ හැම දිසාපති කොට්ඨාසයකම කර්මාන්ත පුරවරවල් නිර්මාණය කරලා රැකී රක්‍ෂා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ව්‍යාප්ත කරලා රටේම කර්මාන්ත පුබුදුවක් ඇති කරනවිට උතුරු පළාතේ බිහිවන කර්මාන්ත පුරවරවල් හරහා දළ දේශීය නිෂ්පාදනයට මීට වැඩිය වැඩි දායකත්වයක් ලබාදෙන්නට උතුරු පළාතට හැකියාව ලැබෙනවා. මම කිව්වා ගම්මාන 2500ක් හදනවා කියලා මම ඒ 2500 ආරම්භ කරලා ඉවරයි. මම කිව්වා ගම්මාන 20,000ක් 20-25 වෙනකොට එය ඉතාමත්ම ශක්තිමත්ව ක්‍රියාත්මක කරනවා. නිවාස වැඩසටහන ශක්තිමත්ව ක්‍රියාත්මක කරනවා සේම උතුරු පළාතෙත් උප දිසාපති කොට්ඨාස මට්ටමින් කර්මාන්ත පුරවරවල් ආරම්භ කිරීමේ පූර්ණ වගකීම මේ සජිත් ප්‍රේමදාස බාරගන්නවා“යැයි අමාත්‍යවරයා පැවසීය.

    Latest News