ගෝඨාභය කෞතුකාගාර නඩුව;රොමේෂ් ද සිල්වාගෙන් විශේෂ මහාධිකරණයට විරෝධතාවක්

ජන 22, 2019
    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර නඩුවේ චෝදනා අද කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ කියවා දෙනු ලැබීණ.
    පසුගිය රජය සමයේ, මැදමූලන වීරකැටිය ප්‍රදේශයේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල කරමින් නීතිපති විසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
    මෙම නඩුව අද පෙරවරුවේ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය ආරම්භ කෙරිණ.
    චෝදනා කියවා දීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මූලික විරෝධතාවක් මතු කරමින් කියා සිටියේ මෙම නඩුව විභාග කිරීමට විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවයි. අධිකරණ සංවිධානය සංශෝධන පනතට අනුව බරපතළ ආර්ථික සහ මූල්‍ය වංචා පිළිබඳ නඩු පමණක් විභාග කිරිමට විශේෂ මහාධිකරණයට බලය ඇති බව ඔහු කියා සිටියේය. මෙම නඩුව එම ගණයට අයත් නොවන බැවින් විභාග කිරීමට විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව ජනාධිපති නීතිඥ රොමේෂ් මහතා අවධාරණය කළේය. වැඩිදුර විභාගය තවදුරටත් පැවැත්වේ.
    සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික  ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අය නම් කර තිබේ. 
    ඉකුත් රජය සමයේ ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරිමේ චෝදනා ගොනු කර ඇත. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

    Latest News