රජයේ විශ්වවිද්‍යාලයක නිදහස් අධ්‍යාපනයෙන් බිහි වු මා පාසලේ ගැටළු හඳුනනවා

සැප් 08, 2019

    දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් පුහුණු ගුරුවරුන් බිහි කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී පැවසීය.

    පාසල් දරුවන් ප්‍රවාහන රියදුරන්ට විධිමත් පුහුණුවක් මෙන්ම රියදුරු බලපත්‍රයක් තිබුණත් ගුරුවරුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගෙන නොතිබූ බව අග්‍රාමාත්‍යවරයා එහිදි පෙන්වා දුනී. මේ අනුව සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකගේම අනාගතය හොඳ අධ්‍යාපනයක් හා පුහුණුවක් ලැබූ ගුරුවරුන්හට භාරදීමට පියවර ගත් බව පැවසූ වික්‍රමසිංහ මහතා දරු දැරියන්ගේ අනාගතය සකස් කර රටේ අනාගතය සකස් කිරීමේ වගකීම පුහුණු ගුරුවරුන් හට පැවරෙන බව ද පෙන්වා දුන්නේය.

    වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (08) අරලියගහ මන්දිරයේ පැවති ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමිනි.

    ඩිප්ලෝමාධාරීන් 4286 දෙනෙකුට පත්වීම් පිරිනැමීම සිදුවිය. විද්‍යාපීඨ 19ක සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයන්ගෙන් විෂයයන් 31කින් පාඨමාලා හදාරා සිටින මෙම පිරිස, අධ්‍යාපන ඩිප්ලෝමාධාරී වෘත්තීය ගුරුවරුන් වශයෙන් පත්විම් පිරිනැමේ. මෙම පිරිසෙන් 2340 දෙ‍නෙකු සිංහල මාධ්‍යයෙන් ද 1300 දෙ‍නෙකු දෙමළ මාධ්‍යයෙන් ද 646 දෙනෙකු ඉංග්‍රිසි මාධ්‍යයෙන් ද දෑ අවුරුදු පාඨමාලා හදාරා, වසරක කාලයක් සීමාවාසික ගුරු පුහුණුව සම්පූර්ණ කර සිටිති.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.........

    දේශපාලන බලපෑමකින් තොරව සුදුසු පුද්ගලයින්ට උසස්වීම් ලබාදී මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. ගුරු පුහුණුව වෙනුවෙන් විශාල මුදලක් අප වැය කර තිබෙනවා. ඒ වගේම සමස්ත අධ්‍යාපනයේ දියුණුව වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදු කර තිබෙන බව සඳහන් කරන්න කැමැතියි.

    සියලූ දෙනාටම වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනයක් පාසල තුළින් ලබාදීම මගේ පරමාර්ථය වී තිබෙනවා. එම අධ්‍යාපනය දරුවන්ට ලබාදීම වෙනුවෙන් ඔබට මෙම පුහුණුව ලබාදී තිබෙන බව සඳහන් කරන්න කැමැතියි. අපගේ ඊළඟ යුතුකම වශයෙන් විභාග බර අඩු කිරීමට පියවර ගත යුතුයි. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය වැඩකටයුතු සිදු කරමින් සිටිනවා. අධ්‍යාපන ක්‍රමය තුළින් චරිත වර්ධනය කිරීමට පියවර ගත යුතුයි. දරුවන්ගේ අධ්‍යාපනය භාර වන පුහුණු ගුරුවරුන් අධ්‍යාපන ක්ෂේත්‍රයට බිහි කිරීමට හැකි වුණා. එම පළමු අරමුණ ඉටුකර ගැනීමට හැකිවීම පිළිබඳ මම සතුටට පත් වනවා.

    මෙරට රජයේ පාසලකට ඇතුළත් වී පසුව රජයේ විශ්වවිද්‍යාලයකට එක්වී නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ අයෙකු වශයෙන් මෙරට පාසල් තුළ ගැටළු මම හොදින් හඳුනනවා. ඒ වගේම මෙරට අධ්‍යාපනයෙන් බිහි වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දක්‍ෂතාත් මම හඳුනනවා. ඒ නිසා අධ්‍යාපන ක්‍රමයේ ඇති ගැටළු විසඳීමට හැකි සෑම අවස්ථාවකම මම මැදිහත්වුණා. පාසල් ක්‍රමයට හොඳ පුහුණු අධ්‍යාපනය සහිත ගුරුවරුන් ලබාදීමට හැකිවීම පිළිබඳව මම සතුටට පත් වනවා. අපිටත් වඩා උගත් පරපුරක් බිහි කිරීමට මම වගේම මෙරට නිදහස් අධ්‍යාපනය ලැබූ ඔබ සියලූ දෙනාත් කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වනවා.

    දේශපාලන ලැයිස්තුවලට ගුරුවරුන් බඳවාගැනීම නවතා දමා ඒ වෙනුවට විභාග මගින් ගුරුවරුන් බඳවා ගැනීමට වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය ධූරයේ කටයුතු කරන අවදියේ පියවර ගත් බව එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.  මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට කටයුතු නොකළත් විශාල වැඩකොටසක් අධ්‍යාපනය වෙනුවෙන් සිදු කර තිබෙන බව රටේ සියලූ දෙනාටම දැකගැනීමට හැකිවී තිබෙන බව ද කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. එල්ල වන චෝදනා තමා ඇතුළු රජයට ගැටළුවක් නොවන බව පෙන්වාදුන් කාරියවසම් මහතා නිවැරදි කවුරුන්ද යන්නට වඩා කුමක් නිවැරදිද යන්න වඩා වැදගත් බව සඳහන් කළේය.

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයින්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මහතා ප්‍රමුඛ විද්‍යා පීඨ පීඨාධීපතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.

    Latest News